දේශපාලන හා සමාජ ස්ථාවරත්වයකින් තොරව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ නොහැකියි – මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි

    May, 11, 2022

    මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.

    යෝග්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නියමිත අවස්ථාවේ දී නොගැනීම හේතුවෙන් ආර්ථික අර්බුධයකට යෑම වළක්වා ගැනීමට අපොහොසත් වීම, එමගින් සාමාන්‍ය ජන ජීවිතය මත එල්ල වූ දැඩි පීඩනය හා සාධනීය සංශෝධනයන් සඳහා රජයට බල කිරීම යන අරමුණු මුල් කර ගනිමින් මසකට අධික කාලයක් පුරා ඉතා සාමකාමීව  ගෙන ගිය මහජන උදිඝෝෂණවලට ඇතැම් දේශපාලනඥයින්ගේ උසිගැන්වීම් හරහා මෙහෙයවනු ලැබූ මැර කණ්ඩාම් විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප වෘත්තීය සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි. එමෙන්ම, එම ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගැනීම සඳහා ස්වාඳීන පරීක්ෂණයක් සිදු කිරීමේ හා ඔවුන් අප්‍රමාදීව නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ වැදගත්කම මෙහිලා අවධාරණය කරමු.

    ශ්‍රී  ලංකා මහ බැංකුවේ වෘත්තිකයින්ගේ නිර්දේශයන් දිගින් දිගටම නොසළකා හැරි වගකිව යුතු පාර්ශ්වයන් දීර්ඝ ප්‍රමාදයකින් පසුව වුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතුළත් වීම සඳහා ගත යුතු ආරම්භක ප්‍රවේශය ගෙන ඇත. වර්තමානයේ පවත්නා උග්‍ර ආර්ථීක අර්බුධය විසඳීමටත් මෙවැනි තත්ත්වයක් නැවත ඇති වීමේ අවදානම අවම කිරීමටත් අවශ්‍ය මැදි කාලීන හා දිගු කාලීන ආර්ථික හා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයන් සමිපාදනය හා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කරමු. එමෙන්ම කෙටි කාලීන ව මහ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපයාදීමේ සහ සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ මූලික වගකීම පාලක බලය හොබවන දේශපාලන බලාධිකාරිය සතු වන අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සමඟ ද්වි පාර්ශවීය හෝ බහු පාර්ශ්වීය ගිවිසුම්වලට එළඹීමත් වැනි ඵලදායී ක්‍රියාමාර්ග වලට හැකි ඉක්මනින් ඇතුළත් වීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වුව ද, මෙවැනි තීරණාත්මක අවස්ථාවක දී, සාමකාමීව රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකිශ කිරීමේ නිදහස ආදී නන් වැදෑරුම් පුද්ගල නිදහස උල්ලංඝනය කෙරෙන ක්‍රියාකාරකම්වල නිරතවීම, අනුබලදීම හෝ ඊට දිරිදෙන මර්දනකාරී නීති පැනවීම ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම ‌කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම විධායක නිලධාරීන් නියෝජනය කරන අප සංගමය, සමස්ත මූල්‍ය පද්ධතියන් දැනටමත් ඉතා දුර්වල වී ඇති ආර්ථිකයත් බිඳවැටීමකට ලක් නොවීමකට අවශ්‍ය සියලුම ඉදිරිගාමී ක්‍රියාමාර්ග සඳහා අපගේ වෘත්තීමය සහයෝගය අඛණ්ඩව ලබා දෙන්නේය.

    මෙවැනි තත්ත්වයක් තුළ දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම මෙන්ම යෝග්‍ය ප්‍රතිසංස්කරණයන් ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ඇතුළු අති විශාල වගකීම් සම්භාරයක් පාර්ලිමේන්තුව වෙත පැවරී ඇත. ඒ සඳහා, මහ බැංකවේ අධිපතිවරයා, මුදල් මණ්ඩල සාමාජිකයින් ඇතුළු අත්‍යාවශයෙන්ම නිර්දේශපාලනීකරණය විය යුතු ස්වාධීන රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි හඳුන්වා දීම මෙන්ම යෝජිත 'මහ බැංකු පනත' (කෙටුම්පත) අප්‍රමාදව සම්මත කිරීම අත්‍යාවශ්‍ය බව සැලකර සිටින්නෙමු.

    දේශපාලන හා සමාජ ස්ථාවරත්වයකින් තොර ව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ නොහැකි බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයේ අප දැඩි ව අවධාරණය කරන අතර සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය විසඳීම සඳහා සක්‍රීය සහ අවංක දායකත්වයක් නොපමාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.