දේශීය පොල්තෙල් නිෂ්පාදනය 55%කින් පහළ යද්දී පොල්තෙල් ආනයනය 1,600%කින් වැඩිවෙලා

    May, 3, 2021

    2020 වසරේ දී පොල් තෙල් මෝල් සඳහා පොල් සැපයුම සීමිත වීම හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 19,759ක් දක්වා සියයට 55.7කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව පෙන්වා දේ. ඒහි වැඩිදුරටත් දැක්වෙන්නේ පොල්තෙල් ආනයනය 2019 වසරේ දී වාර්තා වූ මෙටි‍්‍රක් ටොන් 4,628ක සිට 2020 වසරේ දී මෙටි‍්‍රක් ටොන් 79,060ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවයි. මෙය 1,608%ක වැඩිවීමකි.

    පොල් කර්මාන්තයට අදාළව 2020 මහ බැංකු වාර්තවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    පොල් හා පොල් නිෂ්පාදන සැපයුම 2020 වසරේ දී පහළ වැටුණි. 2019 වසරේ දී ප‍්‍රධාන පොල් වගා කරන ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීමේ පසු බලපෑම හේතුවෙන් 2020 වසරේ දී පොල් නිෂ්පාදනය සියයට 9.5ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළේය. පොල් නිෂ්පාදනයේ පහළ යාම සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ සැපයුම් දාමයන්ට බාධා සිදුවීම පොල් ආශ‍්‍රිත කර්මාන්ත කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළේය. ඒ අනුව, දිසිඳි පොල් නිෂ්පාදනය 2019 වසරේ දී වාර්තා වූ මෙටි‍්‍රක් ටොන් 44,081ක සිට 2020 වසරේ දී මෙටි‍්‍රක් ටොන් 25,255ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය.

    පොල් තෙල් මෝල් සඳහා පොල් සැපයුම සීමිත වීම හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදනය ද මෙටි‍්‍රක් ටොන් 19,759ක් දක්වා සියයට 55.7කින් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, 2020 වසරේ දී නොඉඳුල් පොල්තෙල් (virgin coconut oil) නිෂ්පාදනය සියයට 18.1කින් ඉහළ ගියේය. මේ අතර, පොල්තෙල් ආනයනය 2019 වසරේ දී වාර්තා වූ මෙටි‍්‍රක් ටොන් 4,628ක සිට 2020 වසරේ දී මෙටි‍්‍රක් ටොන් 79,060ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. 2020 වසර තුළ දී, දේශීය පොල්තෙල් කර්මාන්තයට සහාය වීමේ අරමුණින්, රජය විසින් පොල්තෙල්, නොඉඳුල් පොල්තෙල් සහ පාම් තෙල් ආනයනය සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අවස්ථා කිහිපයක දී සංශෝධනය කරන ලදී. තවද, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සහ පොල් ආශ‍්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා පොල්තෙල් ආනයනය වෙනුවට කැබලි කරන ලද වියළි කොප්පරා ආනයනය කිරීමට පියවර ගන්නා ලදී. 2019 වසරට සාපේක්ෂව, 2020 වසරේ දී කොප්පරා සහ පොල් ගෙඩි අපනයන, පිළිවෙළින්, සියයට 72.4කින් සහ සියයට 25.2කින් පහළ ගියේය. පොල් නිෂ්පාදනය අඩු වුව ද, පොල් ක‍්‍රීම් සහ පොල් කිරි නිෂ්පාදනය 2020 වසරේ දී වර්ධනය වූ අතර, පිටිකළ පොල් කිරි නිෂ්පාදනය පහත වැටුණි.

    දේශීය පොල් නිෂ්පාදනය අඩු වීම නිසා ගෘහස්ත පරිභෝජනය හා කර්මාන්තවල භාවිතය සඳහා දැඩි පොල් හිඟයක් ඇතිවීම හේතුවෙන්, 2020 වසරේ දී පොල් හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ ගියේය. ඒ අනුව, පොල් ගෙඩියක සිල්ලර මිලෙහි සාමාන්‍යය පෙර වසරට සාපේක්ෂව රුපියල් 73.82ක් දක්වා සියයට 45.8කින් ඉහළ ගියේය. කොළඹ පොල් වෙන්දේසියේ පොල් ගෙඩියක වෙන්දේසි මිලෙහි සාමාන්‍යය 2019 වසරේ දී පැවති රුපියල් 27.55ක සිට 2020 වසරේ දී රුපියල් 48.89ක් දක්වා ඉහළ ගියේය.

    වෙළඳපොළ පොල් මිල ගණන් ඉහළ යෑම පොල් ආශ‍්‍රිත නිෂ්පාදනවල පිරිවැය වැඩි වීමට හේතු විය. ඒ අනුව, 2020 වසරේ දී පොල්තෙල් මිලි ලීටර් 750 බෝතලයක මිලෙහි සාමාන්‍යය, රුපියල් 343.18ක් දක්වා සියයට 31.9කින් ඉහළ ගිය අතර, දේශීය වෙළඳපොළෙහි දිසිඳි පොල් කිලෝග‍්‍රෑමයක මිලෙහි සාමාන්‍යය, 2019 වසරේ දී වාර්තා වූ රුපියල් 251.03ක සිට 2020 වසරේ දී රුපියල් 447.56ක් දක්වා ඉහළ ගියේය. තවද, වසර තුළ දී දිසිඳි පොල් අපනයනෙහි සියයට 36.5ක අඩු වීමක් දක්නට ලැබුණු අතර, දිසිඳි පොල් අපනයන මිල සියයට 37.3කින් ඉහළ ගියේය. 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී රජය විසින්, පොල් ගෙඩිවල වට ප‍්‍රමාණය මත පදනම්ව, ගෙඩියකට රුපියල් 60.00 සිට රුපියල් 70.00ක් දක්වා උපරිම සිල්ලර මිලක් නියම කළ ද, සීමිත සැපයුම හේතුවෙන් පාලිත මිලට වඩා ඉහළ මිලකට දේශීය වෙළඳපොළෙහි පොල් අලෙවි විය.