සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

    May, 4, 2020

    කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන අවස්ථාවේ දී වෙළෙඳපොළ කටයුතු ස්වයංක්‍රීයවම අත්හිටුවීම අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

    මෙම නව ක්‍රමවේදය මීළඟට කොටස් වෙළෙඳපොළ විවෘත වන දිනයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

    අදාළ අදියර තුන පහත පරිදි වේ.

    1. දිනය තුළ ගනුදෙනු ක්‍රියාත්මක අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5%කින් පහළ ගියහොත් මිනිත්තු 30 ක කාලයක් සඳහා දෛනික ගනුදෙනු ස්වයංක්‍රීයවම අත්හිටුවනු ඇත.

    2. S&P SL20 දර්ශකය 5%ක පහළ යාම හේතුවෙන් මිනිත්තු 30 ක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා නැවත ආරම්භ කිරීමෙන් පසු, තවත් 2.5%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගියහොත් තවත් මිනිත්තු 30 ක කාලයකට ගනුදෙනු අත්හිටුවනු ඇත. එනම් සමස්තයක් ලෙස 7.5%කින් S&P SL20 දර්ශකය පහළ ගියහොත් දිනයේ දෙවන වරටත් මිනිත්තු 30 ක කාලයකට කොටස් ගනුුදෙනු ස්වයංක්‍රීයවම නවතිනු ඇත.

    3. දිනය තුළ S&P SL20 දර්ශකය සමස්තයක් ලෙස 7.5%ක ප්‍රමාණයකින් පහළ ගොස්, අවස්ථා දෙකක දී මිනිත්තු 30 බැගින් ගනුදෙනු අත්හිටුවා ඇති පසුබිමක යළිත් වරත් ගනුදෙනු ආරම්භ වී තවත් 2.5% කින් එනම් සමස්තයක් ලෙස 10%කින් S&P SL20 දර්ශකය පහළ ගිය විට එම අවස්ථාවේ දී කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම නියෝගය වහාම සියලුම තැරැව්කාර සාමාජිකයින් සහ මධ්‍යම තැන්පතු ක්‍රම සහභාගකයන් වෙත දැනුවත් කරන ලෙස කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව වෙත යොමු කර තිබේ.

    අවසන් වරට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ 2020 මාර්තු 20 දින S&P SL20 දර්ශකය 11.90% ක පහළ යාමක් වාර්තා කළේය.

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වී ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.5කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com  වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සඳහා අදාළ වන කොටස් සමුහයන් (නිෂ්ඡන්ද කොටස් ද ඇතුළුව) පහත පරිදි වේ.