දෝෂ නිසා යළි කැඳවූ ටොයොටා වාහන ලංකාවෙත් තිබෙනවාදැයි අවධානය

    April, 10, 2014

    ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණේ ටොයොටා විසින් ලෝකය පුරා විකුණා තිබෙන වාහන ලක්ෂ 64 ක් විවිධ තාක්ෂණික දෝෂ නිසා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර තිබෙන බවයි.

    මෙම වාහන අතර ශ්‍රී ලංකාවට අලෙවිකර තිබෙන වාහන තිබෙනවාදැයි අප ටොයොටා ලංකා සමාගමේ සේවා අංශයේ සාමාන්‍යාධිකාරී, මකීෂ සමරනායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු අදහස් දැක්වූයේ මෙසේයි.

    “අපි මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ. මේ පිළිබඳව ජපානයෙන් අපිට ඉක්මනටම දැනුම් දේවි. අපි බලාපොරොත්තු වෙනවා එහි ප්‍රතිඵල අපගේ පාරිභෝගිකයින්ට දින 02 ක් ඇතුළත කියන්න.“

    “මීට පෙර ටොයොටා Prius හයිබ්‍රීඩ් රථවල තාක්ෂණික දෝෂයක් නිසා නැවත කැඳවීම ලංකාවටත් බලපෑවා. අපි ලංකාවට විකුණා තිබෙන එම මෝටර් රථවල තිබෙන තාක්ෂණික දෝෂය මේ වනවිට නිවැරදි කරමින් සිටිනවා.“

    “ලංකාවට විකුණා තිබෙන ටොයොටා වාහනවල ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී ඇතිවුණොත් අපි සූදානම් සමාගම වෙත එම වාහන ගෙන්වාගෙන ඒවා නිවැරදි කර දෙන්න.“

    පසුගිය පෙබරවාරි මාසයේදී ටොයොටා Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් නැවතත් සමාගම වෙත ගෙන්වා ගැනීමට ටොයොටා තීරණය කළේ එම වාහන හදිසියේ මන්දගාමී වීමට හේතුවන මෘදුකාංග ප්‍රශ්නයක් විසඳීම සඳහායි.