දෝෂ සහිත Prius හයිබ්‍රීඩ් රථ 4000 ක් ලංකාවේ

    April, 12, 2014

    ටොයොටා විසින් පසුගියදා නැවතත් සමාගම වෙත කැඳවූ දෝෂ සහිත Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් අතර ශ්‍රී ලංකාවට අලෙවිකර තිබෙන එවැනි රථ 4030 ක් පමණ තිබෙන බව අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ටොයොටා ලංකා සමාගමේ සේවා අංශයේ සාමාන්‍යාධිකාරී, මකීෂ සමරනායක මහතා පැවසුවේ මේවා අතර ටොයොටා ලංකා සමාගම විසින් අලෙවිකළ නවීන Prius හයිබ්‍රීඩ් මෝටර් රථ 30 ක් සහ පාරිභෝගිකයින් ජපානයෙන් ආනයනය කළ එවැනි මෝටර් රථ 4000 ක් පමණ තිබෙන බවයි.

    “අපි මෙම මෝටර් රථවල දෝෂය නිවැරදි කිරීම සඳහා ලංකාවේ අපගේ කාර්යාලය වෙත කැඳවා තිබෙනවා. ඒවායේ දෝෂය නිවැරදි කරන්නේ ලංකාවේදීයි. මේ වනවිටත් Prius හයිබ්‍රීඩ් රථ 250 ක පමණ තිබූ එවැනි දෝෂ ටොයොටා ලංකා සමාගම විසින් නිවැරදි කර තිබෙනවා.“

    “ජපානයෙන් පුද්ගලිකවම ආනයනය කළ මෙවැනි රථවල දෝෂය පවා අපි නොමිලේම නිවැරදි කර දෙනවා.“

    යනුවෙන් සමරනායක මහතා වැඩිදුරටත් කීය.

    පසුගිය පෙබරවාරි මාසයේදී ටොයොටා Prius හයිබ්‍රීඩ් රථ මිලියන 1.9 ක් නැවතත් සමාගම වෙත ගෙන්වා ගැනීමට ටොයොටා තීරණය කළේ එම වාහන හදිසියේ මන්දගාමී වීමට හේතුවන මෘදුකාංග ප්‍රශ්නයක් විසඳීම සඳහායි.