‘ද ෆිනෑන්ස්‘ කඩා වැටීමේ වගකීම මහ බැංකුව භාර ගත යුතුයි – අගමැති

    June, 4, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මූල්‍ය ආයතනයක් කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ පසුගිය (02) දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

    “සෙන්ට්‍රල් බෑන්ක් එකෙත් වගකීම මීට වඩා වෙනස්විය යුතුයි කියලායි මම නම් විශ්වාස කරන්නේ. අපි වගකීම භාර ගන්නවා නම්, මම ෆිනෑන්ස් කම්පැනියක් හැදුවා නම්, ඒක සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් අධීක්ෂණය කරනවා නම්, සහ මම ප්‍රසිද්ධ කරනවා නම් මේකේ තැන්පත් කරන්න, අපි වගකීම් භාර ගන්නවා කියලා, මං හිතන්නේ දැන්වීම් දාලා තියෙනවා. නීති හදන්න වේවි අපිට, අනාගතයේ දී මෙහෙම එකක් තත්ත්වයක් ආවොත් මොකක්ද සෙන්ට්‍රල් බෑන්ක් එකේ වගකීම. නැත්තන් මේවාට ඉඩ දීලා තිබ්බොත් දිගින් දිගටම සමාජයටම ලොකු ප්‍රශ්නයක්.“

    “ඊළඟට සෙන්ට්‍රල් බෑන්ක් එක කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙට රට වැටුණොත් ඉතිං අපි ඔක්කොම වැටෙනවා. මින් පස්සේ මෙහෙම දේවල් ඇති නොවෙන විදියට නීති ඕනේ නං නීති හරි දාලා, මේ වැඩපිළිවෙලක් හදන්න වෙනවා. එහෙම නැතිවුණොත් සම්පූර්ණ විශ්වාසය කඩවෙලා රටේ ආර්ථිකයටත් ඒක බලපානවා විශාල වශයෙන්.“