ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

    January, 21, 2021

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

    වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

    මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.