ධම්මිකගේ සමාගම් රැසක කොටස් මිල ගණන් අද ඉහළට

    June, 9, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක් අද (09) දිනයේ දී වාර්තා විය.

    මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 108.44 ක හා S&P SL20 දර්ශකයේ ඒකක 38.65 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

    දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,881.13 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,567.74 ක් ලෙසත් සටහන්ව තිබුණු අතර පිළිවෙලින් එය පෙර දිනයට සාපේක්ෂව 1.40% ක හා 1.53% ක ඉහළ යාමක් වේ.

    කෙසේවෙතත් දෛනික පිරිවැටුම සෙසු දිනවලට සාපේක්ෂව පහළ අගයයක් ගනු ලැබූයේ රුපියල් බිලියනයේ සීමාව සාක්ෂාත් කර ගැනීමට අද දිනය තුළ දී අපොහොසත් වූ බැවිනි. රු. මිලියන 917.27 ක පිරිවැටුමක් අද දින වාර්තා විය.

    මේ අතර අද දිනයේ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන සමාගම් රැසක කොටස් මිල ගණන්වල කැපී පෙනන වර්ධනයක් දක්නට ලැබීමයි.

    එහිදී වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20% කින්, වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97% කින්, ස්විස්ටෙක් (සිලෝන්) සමාගමේ කොටස් මිල 14.40% කින්, රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49% කින්, ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල 9.68% කින්, හේලීස් ලෙෂර් සමාගමේ කොටසක මිල 7.24% කින්, හේලීස් පිඑල්සී කොටස් මිල 6.64% කින්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් කොටස් මිල 6.50% කින්, රෙග්නිස් (ලංකා) කොටස් මිල 5.43% කින් ආදී වශයෙන් පෙර දිනයට සාපේක්ෂව කැපීපෙනෙන අයුරින් මිල ඉහළ ගිය සමාගම් වේ. මේ සමාගම් සියල්ලක්ගේ ම පාහේ පාලක කොටස් හිමිකාරීත්වය පවතින්නේ ධම්මික පෙරේරා මහතා සතුවය.

    ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ඨ වී ප්‍රබල අමාත්‍ය ධූරයක වගකීම් භාර ගැනීමට සූදානමින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර ඇත.

    සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිම දායකත්වයක් දෙන ලද සමාගම් අතර පෙරමුණ ගැනීමට ද ධම්මික පෙරේරා මහතාට අයත් රෝයල් සෙරමික්, වැලිබල් වන් හා හේලීස් යන සමාගම් අද දිනයේ දී  සමත්ව තිබුණි.