ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

    March, 26, 2018

    ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට නවසීලන්තයේ ආයෝජකයින් උනන්දු කරවීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Joanna Kempker මහත්මිය ප්‍රකාශ කළාය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කළාය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මහකොමසාරිස්වරිය අතර සාකච්ඡාවක් පසුගියදා අමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

    මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව හා නවසීලන්තයට අදාල වන ද්විපාර්ශ්වික කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. ලෝකයේ මුහුදු ධීවර කර්මාන්තයේදී එහි තිරසාර සංවර්ධනය උදෙසා කළමණාකරණ පද්ධතියක් ඇති කිරීමට නවසීලන්තය පුරෝගාමි විය. එහි අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දීමට ද පියවර ගන්නා බව මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රතිඥා දුන්නාය. ඒ අනුව ධීවර කළමණාකරණ කටයුතු පිළිබඳ පුහුණුවක් මෙරට ධීවර නිලධාරින්ට හා පාර්ශ්වකරුවන්ට ලබා දීමට පියවර ගැනේ.

    එමෙන්ම දැනටමත් උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශය පාදක කර ගනිමින් මත්ස්‍ය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් නවසීලන්තයේ සහයෝගිතාවය මත පවත්වාගෙන යනු ලබයි. එම ආයෝජකයින් ද තවදුරටත් මෙරට ධීවර ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට ද කැමැත්ත දක්වා තිබේ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා රැසක් ඇති බවයි. ඒ අනුව අප රට තුළ ධීවර ක්ෂේත්‍ර යේ ආයෝජනය සඳහා ශක්තිමත් පසුබිමක් යෝජිත ජාතික නව ධීවර ප්‍රතිපත්තිය නිසා ඇතිවෙතැයි ද අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ද සහභාගි විය.