නගර 100 ක් ඉදිකිරීමේ සැලසුමක් – මෙන්න! මහින්ද චින්තනයේ ලොව දිනන මග

    December, 23, 2014

    කොළඹ සහ හම්බන්තොට ආශ්‍රිතව අංග සම්පූර්ණ නාවික පහසුකම් වලින් සමන්විත “වරාය නගර දෙකක්“ ඉදිකරන බවත් මෙම නගර දෙක ආශ්‍රිතව සංචාරක හෝටල්, සාප්පු සංකීර්ණ, විනෝද මධ්‍යස්ථාන, ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලා පහසුකම් වලින් සමන්විත “කළාපීය වෙළඳ කේන්ද්‍ර දෙකක්“ ගොඩ නගන බවත් “ලොව දිනන මග“ මැයෙන් අද එළිදැක්වූ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

    නිදහස් වරාය සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් කොළඹ සහ හම්බන්තොට නිදහස් වරායන් බවට පත්කළ පරිදිම ත්‍රිකුණාමල වරායද තවදුරටත් සංවර්ධනය කර නිදහස් වරායක් බවට පත්කර දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගන්වන විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව මෙහි සඳහන්ය.

    මෙම සංවර්ධනය තුළින් ඉදිරි වසර 06 ඇතුළත වරාය ක්ෂේත්‍රයේ සෘජු රැකියා ලක්ෂ 03 ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 02 ක් නිර්මාණය කරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිතයට ගනු ලබන සියළු රෙදිපිළි (Medical Textiles) නිෂ්පාදන සහ විවිධ කාර්යන් සඳහා යොදා ගන්නා සුවිශේෂී රෙදිපිළි (Geo Textiles) නිෂ්පාදන කර්මාන්තය මෙරට ඇඟලුම් කර්මාන්තයට හඳුන්වා දීමට කටයුතු කරන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබේ.

    මීට අමතරව, මෙහි සඳහන් වන්නේ කොටස් වෙළඳ පොළේ ඉහළින්ම සිටින සමාගම් 200 ද ඇතුළත්ව මෙරට ඉහළින්ම සිටින ව්‍යාපාරිකයින්ට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් අගය එකතු කිරීමේ කර්මාන්ත හා දේශීය අමුද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත ඇතුළු කර්මාන්ත ශාලා 325 ක් ආරම්භ කිරීමට ආරාධනා කරන බවත් ඒ සඳහා පහසුකම් හා දිරි දීමනා සියල්ල රජය විසින් සපයන බවයි.

    එසේම, කොටහේන මට්ටක්කුලිය හරහා මාලඹේ සිට කැළණියට “මොනෝ දුම්රිය සේවාවක්“ ඉදිරි අවුරුදු තුන ඇතුළත ඉදිකරන බවත් මොරටුවේ සිට කොළඹ දක්වා බස් ප්‍රවාහනය සඳහා වෙනමම මංතීරු දෙකක් වෙන්කරන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ය.

    දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය යා කරමින් දීර්ඝ කරන බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැල්මඩුල්ල දක්වා රත්නපුර අධිවේගී මාර්ගය ඉදිකරන බවත් පිටත වටරවුම් මාර්ගයෙන් ආරම්භ වී වයඹ, උතුරු මැද, නැගෙනහිර පළාත් හරහා යාපනයට දිවෙන උතුරු අධිවේගී මාර්ගය ඉදිකරන බවත් මෙහි තිබේ.

    මීට අමතරව, පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස 2015 දී විවෘත කරන බවත් 2020 වනවිට මත්තල ගුවන් තොටුපොළේ සිට යාපනයටම අධිවේගී මාර්ග වලින් යා හැකි තත්ත්වයට රට පත් කරන බවද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

    2020 වනවිට කොළඹ නගරය දකුණු ආසියාවේ අලංකාරම නගරය බවට පත් කරන බවත් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශය දැකුම්කළු හා ක්‍රමානුකූලම පරිපාලන අග නගරය බවට පත්කරන බවත් මෙහි සඳහන් වන අතර මූලික පහසුකම් පවා නොමැති, නමුත් විවිධ ග්‍රාමීය ප්‍රදේශ එකට යා කරන ජනතාවගේ සේවා පහසුකම් සැපයුම් මධ්‍යස්ථාන බවට පත්වී ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඇත.