නවතම LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි බැංකු අතරින් ප‍්‍රථමයා බවට කොමර්ෂල් බැංකුව පත්වෙයි

    October, 18, 2019

    පසුගිය වසරට වඩා ස්ථාන දෙකක් පෙරට පැමිණෙමින් මෙවර සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි 3 වන ස්ථානය හිමිකර ගනී

     

    ශ‍්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් ශ්‍රේණිගත කිරීම් වලට ලක් කිරීමේ ප‍්‍රමුඛත්වය දරන ‘LMD 100’ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොමර්ෂල් බැංකුව පසුගිය වසරට වඩා ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් මෙවර 3 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

    ජාත්‍යන්තර Fortune 500 ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලාංකික ස්වභාවයේ ශ්‍රේණිගත කිරීම ලෙස මහත් පිළිගැනීමට ලක්ව ඇති මෙවර 26 වන වරටත් සම්පාදනය කරන ලද මෙම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම් වලදී කොමර්ෂල් බැංකුව ඉහළින්ම ශ්‍රේණිගත වූ බැංකුව බවට පත් විය.

    ආයතන ඇගයීමට ලක් කිරීම සඳහා LMD සඟරාව මගින් සිදුකරන මෙම ලැයිස්තුව විශේෂ සංස්කරණයක් ලෙස 2019 දෙසැම්බර් මස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    මෙම ශ්‍රේණිගත කිරීම් මුල් වරට ප‍්‍රකාශයට පත් කරන ලද 1993-94 වකවානුවේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි.

    මූලික වශයෙන් LMD ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ සමාගම්වල පිරිවැටුම පදනම් කරගෙන වුවද සඟරාව මගින් සමස්ත වත්කම්, බදු පසු ලාභය, කොටස්කරුවන්ගේ අරමුදල්, වෙළඳ පොළ ප‍්‍රාග්ධනායනය, කොටසක් සඳහා ඉපැයීම, කොටසක් සඳහා ලාභාංශ ඇතුළු කාර්ය සාධනයට අදාළ තවත් බොහෝ දර්ශක සැලකිල්ලට ලක් කරමින් අංශ වශයෙන්ද ශ්‍රේණිගත කිරීම් කරනු ලබයි.

    නවතම LMD ශ්‍රේණිගත කිරීම් අනුව කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 3 අතරට පත්වීම පිළිබඳව තම අදහස් දැක්වූ බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය. “පසුගිය මූල්‍ය වසර ව්‍යාපාර සඳහා අභියෝගාත්මක එකක් වූ අතර බැංකු ක්ෂේත‍්‍රය සඳහා එය විශේෂයෙන් බලපෑවා. එවැනි වාතාවරණයක් තුළ සිටි ස්ථානයෙන් තවත් ඉහළට පැමිණීමට හැකිවීම තුළින් බැංකුවේ ශක්තිය මෙන්ම අපහසු කාල වකවානුවන් තුළදී වුවත් නිසි ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව මනාව තහවුරු වෙනවා. ඒ අනුව මෙම නවතම ශ්‍රේණිගත කිරීම කොමර්ෂල් බැංකුවට සහ එහි කාර්යමණ්ඩලයට ස්වභාවයෙන්ම ආවේනික වූ ශක්තියට ඉමහත් ගෞරවයක් ලෙස මා දකිනවා.”

    LMD හි නවතම ශ්‍රේණිගත කිරීම් තුළින් මෙරට සියලූ ලැයිස්තුගත බැංකු වලට අමතරව මුල් පෙළේ සමූහ ව්‍යාපාර, විදුලි සංදේශ ආයතන, මහා පරිමාන අලෙවිසැල් ජාල, රක්ෂණ සමාගම් ඇතුළු බොහෝ ආයතන අභිබවා කොමර්ෂල් බැංකුව ඉහළ ස්ථානයකට පැමිණීමට සමත්ව තිබේ.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව මෙන්ම ලංකාවේ තෙවන විශාලතම බැංකුවද වන කොමර්ෂල් බැංකුවේ වත්කම් අගයන් 2018 වන විට රුපියල් ටි‍්‍රලියන 1.305ක් (ඇමරිකානු ඩොලර් බිලියන 7.123) වූ අතර බැංකුව දළ වශයෙන් ක්ෂේත‍්‍රයේ වත්කම් වලින් 11%ක ප‍්‍රතිශතයකට හිමිකම් කියයි. වසර 100ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන එය ශ‍්‍රී ලංකාවේ සහ විදෙස් රටවල කාර්යයේ නියුතු 5,027ක් වන සේවක පිරිසක්ද සමගින් මිලියන 3.5 කට අධික පාරිභෝගිකයන් පිරිසකට තම සේවාවන් සපයනු ලබයි.

    වසර 2018 සඳහා කොමර්ෂල් බැංකුවේ දළ ආදායම 20.7% කින් වර්ධනය වුයේ රුපියල් බිලියන 138.0ක් වාර්තා කරමිනි. බැංකුව විසින් වාර්තා කළ බදු පෙර ලාභය රුපියල් බිලියන 25.6ක් වූ අතර බදු පසු ලාභය රුපියල් බිලියන 17.5ක් විය. අදාළ වසර සඳහා රජයට ගෙවන ලද සමස්ත බදු (ආදායම් බදු, DRL රුපියල් මිලියන 650ක් සහ බෝග රක්ෂණ බදු ඇතුළුව මූල්‍ය සේවාවන් සඳහා වන බදු ආදිය) ප‍්‍රමාණය රුපියල් බිලියන 14.3ක් විය. වසර අවසානයේ කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 118.4 ක් ලෙස වාර්තා විය.

    අඛණ්ඩව වසර 9ක් ලොව විශිෂ්ටතම බැකු 1000 අතරට එක්වීමේ වරම් ලද ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව අද වන විට ශ‍්‍රී ලංකාව පුරා 267කින් යුත් ශාඛා ජාලයක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 854ක් මෙහෙයවීමේ නිරතව සිටී. 2018 වසරේ ජාත්‍යන්තර හා දේශීය සම්මාන 40කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලද බැංකුව මේ වසරේ පමණක් මේ වන විට සම්මාන 25 කට අධික සංඛ්‍යාවක් හිමිකර ගැනීමට සමත්ව සිටින අතර 2019 ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට ශ්‍රේණිගත වීමට සමත්ව සිටී.

    ශ‍්‍රී ලංකාවෙන් බැහැර කොමර්ෂල් බැංකුවේ විදෙස් මෙහෙයුම්ද ඉතා සාර්ථක ලෙස සිදුවන අතර බංග්ලාදේශයේ මෙහෙයුම් ජාලය නියෝජිතායතන 19කින් සමන්විත වේ. මියන්මාරයේ යැන්ගුන් නගරයේ නියෝජිත කාර්යාලයක් සහ නෙයි පියිටෝ නගරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බැංකුව මාලදිවයිනේ වැඩි අයිතියක් සහිත මනාව වර්ධනය වූ I වන ශ්‍රේණියේ බැංකු ශාඛාවක් මෙහෙයවීමේ නිරතව සිටී.