නව ආයෝජන සොයා බැලීමට පාකිස්ථානයෙන් එයි

    April, 24, 2018

    ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවිය.

    පාකිස්ථානයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා තමන් සූදානම් බව ඔවුහූ ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.

    එමෙන්ම අධිවේගි මාර්ග ඉදිකිරීම් සහ ඛනිජ තෙල් කැණීම් ක්ෂේත‍්‍රවල නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.

    හදවත් සැත්කම් සිදුකරන ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන රෝහලක් ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීමට සහ සංචාරක පුරවර දෙකක් සඳහා මෙන්ම අඩු වියදම් සහිත නව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට ද මෙහිදී කැමැත්ත පළ කෙරිණි.

    අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.