නව තාක්ෂණයත් සමග මුදල් අමාත්‍යාංශය පෙරට

    December, 10, 2019

    රාජ්‍ය සේවය 21 වැනි සියවසට ඔබින පරිදි සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ගරු අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත නව වෙබ් පාදක පරිගණක වැඩසටහන් කිහිපයක් ජන ගත කිරීම අද (10) රන්දොර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. අමාත්‍යාංශය යටතේ පවතින තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දුන් මෙම වැඩසටහන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා අතින් විවෘත කෙරුණු අතර මේ තුළින් රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම, විනිවිදභාවය සහතික කිරීම, සේවාලාභීන්ගේ පහසුව සහ ඔවුන් වෙනුවෙන් උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණු ලෙස හැඳින්විය හැකිය.

    ශ්‍රී ලංකා රේගුව තව දුරටත් ජනතාවට සමීප කාර්යයක්ෂම ආයතනයක් බවට පත් කිරීමේ පියවරක් ලෙස, තනි සේවා කවුළුව (Single Window) මගින් ආනයන ක්‍ෂේත්‍රයේ සියලු සේවාවන් තනි කවුළුවක් හරහා සැපයීමේ පහසුකම් මෙහි අන්තර්ගත කොට තිබේ. ජාත්‍යන්තර වෙළඳාම් කටයුතු නියාමනයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක වේ. මේ නිසා ඒ හා බැඳුණ සියලු රාජ්‍ය ආයතනයන් ද මෙම කටයුත්ත සඳහා ඒකාබද්ධ වේ.

    රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම කරමින් ලාබ ලබන මට්ටමට රැගෙන ඒම රජයේ මූලික අරමුණයි. මේ සඳහා රාජ්‍ය ව්‍යාපාර අධීක්‍ෂණය හා නියාමනය වැදගත්කොට සැලකිය  හැකි ය. එම කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් සංවර්ධනය කරන ලද රාජ්‍ය ව්‍යාපාර නියාමන මෘදුකාංගය (PEDMIS) සහ නවීකරණය කරන ලද වැටුප් මෘදුකාංගය හරහා සමස්ත රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ද පහසුකම් සැලසීම මෙමගින් සිදු කෙරේ.

    රාජ්‍ය සේවයේ ප්‍රමාදයන්ට ප්‍රධාන හේතුවක් වන ලිපි ගනුදෙනු හුවමාරුවේ ප්‍රමාදයන් අවම කර ගැනීමට ද මෙහි දී ඊ තාක්ෂණය භාවිත කිරීමට අපේක්ෂිතය. මේ සඳහා හඳුන්වා දී ඇති ලිපි කළමනාකරණ මෘදුකාංගය ඉදිරියේ දී ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ දෙපාර්තමේන්තුවකට අවශ්‍ය පරිදි සකසා දීමට ද මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරයි.

    එසේ ම මෙම මෘදුකාංගය මගින් කඩදාසි භාවිතය අවම කරමින්  හා අනවශ්‍ය ප්‍රමාදයන් වලකමින් අන්තර්ජාලය හරහා අනුමැතීන් සහ අවශ්‍ය සේවාවන් සැපයීමටත් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් සැපයීමටත් අපේක්ෂා කෙරේ.

    මෙම වෙබ් අඩවි සංවර්ධනය කර තිබීම සහ  විවෘත මූලාශ්‍ර මෘදුකාංග (open source) භාවිතා කර තිබීම ඉතාමත් ප්‍රශංසනීය වේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන අතර මුදල් ගනුදෙනු සඳහා ද ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමට හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි.

    තොරතුරු තාක්ෂණය පිළිබඳ හැදෑරීම් කරන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පිරිසකගේ  දායකත්වය සහිතව තොරතුරු තාක්‍ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සංවර්ධන කටයුත්තක් ලෙස (Inhouse development) කිසිදු අමතර වියදමකින් තොරව මෙම වැඩ සටහන නිර්මාණය කිරීම කර තිබේ. මෙම වැඩසටහන් සකස් කිරීම සඳහා මීට පෙර විදේශීය ආයතනයකින් මිල ගණන් කැඳවූ අවස්ථාවේ දී ඒ වෙනුවෙන් වූ ඇස්තමේන්තු ගත මුදල වූයේ ඇ.ඩො. මිලියන අටකි. එහෙත් කිසිදු ගෙවීමකින් තොරව මෙම වැඩසටහන් සම්පාදනය කිරීමට හැකිවීම මුදල් අමාත්‍යාංශය ලද භාග්‍යයක් ලෙස හැඳින් විය හැකි ය.

    භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ, තොරතුරු තාක්ෂණ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.