නව දේශපාලන වෙනස්කම හමුවේ ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට රටවල් රැසක් එක් වෙයි

    April, 28, 2016

    නව දේශපාලන වෙනස්කම හමුවේ ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට සූදානම් බව ලොව රටවල් රැසක නියෝජිතයෝ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ ප්‍රකාශ කරති. ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමටද ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් ඉදිරිපත් ව සිටිති. මෙම කරුණු අනාවරණ වූයේ අප්‍රේල් මස 13 වැනි දා සිට 17 වැනි දා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර දී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවල දී ය. ලෝකයේ රටවල් 189ක් නියෝජනය කරමින් මුදල් අමාත්‍යවරු මෙම සමුළුව සඳහා එක්ව සිටියහ.

    ජාත්‍යන්තර ආර්ථිකය, මූල්‍ය සංවර්ධනය, ගෝලීය ආර්ථිකය සේ ම සරණාගත අර්බුදය වැනි මාතෘකා මෙහි දී සාකච්ඡාවට ගැණින. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස ඊට සහභාගී වූහ. ප්‍රධාන සමුළුව අතර තුර හමු කිහිපයකට ම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිස සහභාගී වූහ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපතිනී Annette Dixon, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂවරුන් වන Subash Chandra Grag සහ Subir Gokarn දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් Nisha Biswal ඇතුළු පිරිසක් සමග ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සාකච්ඡා පැවැත්වීය.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සුබවාදී අරමුණකින් ආර්ථිකයට සහය දැක්වීම සඳහා කැමැත්ත පළ කර තිබූ රාජතාන්ත්‍රිකයන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සමග ද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත් වීය. නෝවේජියානු සහ ඉන්දියානු මුදල් අමත්‍යවරු ඒ අතර වූහ. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයෝජකයන් පිරිසක් ද සමග ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සාකච්ඡා පැවත්වනු ලැබීය.

    ඔවුන් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට අවතීර්ණ වී ඇති බවයි. දූෂණය තුරන් කර ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් ගන්නා මේ මොහොතේ ඊට ශක්තිය ලබා දීමට සූදානම් බව ඔවුහු වෙන්වා දුන්හ.

    මේ අතර ජී 24 අමාත්‍යවරුන්ගේ හමුව ද මෙම සමුළුවට සමගාමීව පැවැත්විණි. මුදල් අමාත්‍යවරයා එහි දී ජී 24 හමුවේ උප සභාපතිවරයකු ලෙස ද තේරී පත් විය. එම හමුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අවධාරණය කළේ ජී 24 හමුවේ ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව උපරිම දායකත්වයක් ලබා දෙන බවයි.