නව දේශීය ආදායම් පනතට කැබිනට් අනුමැතිය

    March, 23, 2017

    2016 වසරේ අයවැය යෝජනා අනුව, දැනට පවතින දේශීය ආදායම් පනත සරල සහ නව්‍යකරණය කිරීමේ අරමුණින් නව දේශීය ආදායම් පනතක් හඳුන්වාදීම සඳහා කටයුතු කෙරෙමින් පවතී.

    යෝජිත නව පනත මඟින් පුළුල් බදු සහන ලබා දෙනු වෙනුවට ආදායම් මූලාශ්‍රවලට අදාළ නීති රීති පුළුල් කර බදු පදනම පුළුල් කිරීමටත්; බදු ගෙවන්නාගේ ආරක්ෂාව ඉහළ නංවාලමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි වන පරිදි නව බලතල එකතු කිරීමටත්; බදු පදනම දුර්වලවීම සඳහා පිළියම් යෙදීම සහ බදු ගෙවීම මඟ හැරීමට එරෙහිව ක්‍රියාත්මක වීමටත්; වඩා යහපත් බදු ව්‍යූහයක් ඇති කරමින් සංකීර්ණ නොවන මූලධර්ම මත පදනම්ව බදු පරිපාලනය නව්‍යකරණය කිරීමටත්; ප්‍රාග්ධන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත.

    ඒ අනුව, දැනට සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, දේශීය ආදායම් නව පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.