නව සුවසේවාවන් රැසක් සමගින් තලවතුගොඩ හේමාස් රෝහලේ සුවතා පියස යළි දියත් කරයි

    August, 27, 2020

    ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය ප‍්‍රජාවගේ නිරෝගීබව පිළිබඳව අවධානය යොමු කරමින් නව සේවාවන් රැසක් ද සමගින් බහුවිධ සායනික පහසුකම්වලින් සමන්විත හේමාස් ‘සුවතා පියස’ තලවතුගොඩ හේමාස් රෝහලේදී යළි අරඹන ලදි. තලවතුගොඩ හේමාස් රෝහලේ ස්ථාපිත සුවතා පියස වෛද්‍ය ඒකකය මුළුමනින්ම රෝග විනිශ්චය සහ සංවිධිත වෛද්‍ය පරීක්ෂණ තුළින් නිවාරණය, රෝගී තත්වයන් කළමනාකරණය, මෙන්ම රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යෑම සඳහාම වෙන්වූ විශේෂිත ඒකකයක් වන අතර රෝගීන්ට සිදු කරන වෛද්‍ය පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයන්ට අනුව එම රෝගීන් සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර වැඩසටහන් වෙත ඔවුන් යොමු කෙරේ.

    පුද්ගල නිරෝගීබව පවත්වාගෙන යෑම සඳහා බලපාන සියලූ කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් පවත්වාගෙන යන මෙම සුවතා පියසෙහි ප‍්‍රමුඛතම අවධානය බෝනොවන රෝග නිවාරණය, සහ කළමනාකරණයට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමය. නිදසුන් ලෙස දියවැඩියාව, විශාදය, හෘදය ආශ‍්‍රිත රෝගී තත්වයන්, පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කෙරේ. ප‍්‍රවේණිගතව සහ අයහපත් සෞඛ්‍ය සහ ජීවන පුරුදු හේතුවෙන් වැළඳිය හැකි බෝනොවන රෝගයක් වන දියවැඩියාව යහපත් සෞඛ්‍ය පුරුදු, ආහාර , ව්‍යායාම සහ ස්ථුලතාව පාලනය කිරීම මගින් එයින් මිදීමට හැකිවන අතර රෝගී තත්වය කල්තියා හඳුනාගැනීම තුළින් යළි ප‍්‍රකෘති තත්වයට පැමිණිමේ හැකියාව ද පවතී.
    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කළ අධ්‍යනයකට අනුව බෝනොවන රෝගයක් ලෙස දියවැඩියාවට ගොදුරු වූ සමස්ත ලෝක ජනගහනය මිලියන 425ක් වන අතර ශ‍්‍රී ලංකාවේ බෝනොවන රෝග වලින් මිය යන සංඛ්‍යාවෙන් 75%කට වැඩි ප‍්‍රතිශතයක් දියවැඩියාවට ගොදුරු වූවන් බව හඳුනාගෙන ඇත. මේ අනුව තලවතුගොඩ හේමාස් රෝහලෙහි ස්ථාපිත සුවතා පියස මගින් බෝනොවන රෝගයන්ට ගොදුරු වූ සහ එම රෝගයන්ට ගොදුරු වීමේ අවදානමක් සහිත ජනයා ඉන් මුදවා ගැනීම හෝ එම රෝගී තත්වය මනා ලෙස පාලනය කර සුවපත් දිවියක් ගෙවීමට අවැසි මාර්ගෝපදේශනය ලබා දෙනු ඇත.

    ‘‘රෝගීන්ට දැරිය හැකි මිලකට, බෝනොවන රෝගී තත්වයන්ගෙන් වැළකී සිටීමට අවශ්‍ය සායනික සහ උපදේශාත්මක සහාය ලබා දෙන සුවතා පියස වෛද්‍ය ඒකකය තලවතුගොඩ හේමාස් රෝහලෙහි ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා. අපගේ කුසලතා පූර්ණ සහ අත්දැකීම් බහුල වෘත්තීය කාර්යමණ්ඩලය රෝගීන්ගේ සුවපත්බව වෙනුවෙන් සිය සහාය සහ නිවැරදි මගපෙන්වීම මත රෝගීන්ට සිය නිරෝගීබව යළි ලබා දීමට කැපවී සිටින අතර විශේෂයෙන්ම බෝනොවන රෝගයන් වැළඳීමට ඇති ඉඩ අවම කිරීම සඳහා නිරන්තර සුපරීක්ෂණය, අවධානයෙන් සිටීම, නිසි පරිදි සිදුකරන සායනික පරීක්ෂාවන් සහ වෛද්‍ය උපදේශනය යන සේවාවන් මෙහිදී ප‍්‍රශස්ත ලෙස සිදු කෙරෙනවා. රෝගීන්ගේ සුවපත්බව සහ ඔවුන්ගේ ජීවිතවලට නව අපේක්ෂාවන් ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව ජාත්‍යන්තර මට්ටමේ සායනික පහසුකම් සහ ලොවම පිලිගත් සුවසේවා පිලිවෙත් අනුගමනය කිරීම සඳහා වන ආයෝජනයන් අප විසින් සිදු කරනවා’’ යනුවෙන් තලවතුගොඩ හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරී ප‍්‍රභාන් ගුණවර්ධන මහතා පැවසීය.

    සුවතා පියස තුළින් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ෂවයේම සුවපත්බව පවත්වාගෙන යෑම සඳහා සායනික සහ උපදේශාත්මක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කෙරෙන අතර දියවැඩියාව, පිළිකාවන්, වකුගඩු ආශ‍්‍රිත ආබාධ, මානසික උපදේශනය, යන කායික මානසික රෝග සඳහා ක‍්‍රමානුකූල ප‍්‍රතිකාරයන් මෙහිදී සිදු කෙරේ. මීට අමතරව නීරෝගීබව පවත්වාගෙන යෑමේ යහපත් ජීවන පිළිවෙත්, පවුල් සැලසුම් සායන, බෝනොවන රෝග සඳහා සායන, මධ්‍යසාර සහ දුම්වැටි සඳහා ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීමේ උපදේශන සේවා, මෙන්ම ආයතනික සහ රක්ෂණ සමාගම් සඳහා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයන් සුවතා පියස මගින් පවත්වාගෙන යනු ලබයි.

    සුවතා පියසෙහි සේවය කරනු ලබන වෘත්තීය කාර්ය මණ්ඩලය විසින් රෝගීන්ගේ රෝගී තත්වය පිලිබඳව දැඩි අවධානයක් යොමු කර එය පාලිත තත්වයෙන් පවත්වාගෙන යෑම සහතික කරන අතර උසස් තාක්ෂණික හැකියාවන් මත රෝගීන්ගේ සුවපත් බව පිළිබඳව පසුවිපරමක් සිදු කෙරේ. එමෙන්ම අමතර සේවාවක් ලෙස රෝගීන් විසින් සිදුකර ගත යුතු පරීක්ෂණ, වෛද්‍ය උපදේශනයන් පිළිබඳව දුරකථනය මගින් සහ කෙටි පණිවිඩ මගින් ඔවුන්ව දැනුවත් කිරීමට ද හේමාස් සුවතා පියස කටයුතු කරනු ලබයි. හේමාස් සුවතා පියස සතියේ දිනවල උදෑසන 8 සිට 4 දක්වාත් සති අන්තයේ උදෑසන 10 සිට දහවල් 1 දක්වා විවෘතව පවතී. 0779405838 හෝ 0112146561 යන දුරකථන අංකයන් මගින් හේමාස් සුවතා පියසෙහි වේලාවක් වෙන් කර ගැනීමට රෝගීන්ට හැකියාව ඇත.

    වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බවට වර්ධනය වී එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. මීට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් රසායනාගාර සමූහය දීපව්‍යාප්තව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය FMCG" සෞඛ්‍ය, ප‍්‍රවාහන සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

    හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.