නාමල් ගේ ක්‍රිප්ටොකරන්සි යෝජනාවට මහ බැංකුවේ සහාය ලැබේවි ද?

    October, 8, 2021

    ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී නිවේදනය කරන ලදී. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව මෙම යෝජනාව ඉදිපත්ව තිබුණි.
    මෙම කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වූයේ දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත්ය.
    කෙසේවෙතත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ක්‍රිප්ටොකරන්සි හෙවත් අතථ්‍ය මුදල් (Virtual Currencies) සම්බන්ධයෙන් මෙම යෝජනාව ගෙන එන්නේ ක්‍රිප්ටොකරන්සි පිළිබඳව ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වය් ඇති වී තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.  පසුගිය සැප්තැම්බර් 24 දින චීන මහ බැංකුව විසින් ක්‍රිප්ටො සම්බන්ධ සියලු ආකාරයේ ගනුදෙනු නීතිවිරෝධී බව ප්‍රකාශයට පත් කිරීම මීට හේතුවයි. එසේම ක්‍රිප්ටොකරන්සි මයිනින් අධික බලශක්තිය වැය වන කාර්යයක් මෙන්ම අධි ඉලෙක්ට්‍රොනික අපතයක් ජනනයක් කරන්නක් බවත් වාර්තා පෙන්වා දේ.
    මේ සම්බන්ධයෙන් ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි. “ක්‍රිප්ටෝකරන්සි ගැන මහ බැංකුව විදියට සම්පූර්ණ තීරණයක් අරගෙන නැහැ. කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කිරීමටත්, ඒ පිළිබඳ වාර්තා කිරීමටත් කණ්ඩායමක් හදන්න කියලා. අපි ඒ සඳහා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂවරයාවත් යොමු කරලා තියෙනවා. ඒ ගැන යම් තීරණයක් ඉදිරියේ දී ගනී“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
    මේ අතර 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිතා කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන බවත්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැති බවත් කියා සිටියේය.
    මෙහිදී ප්‍රධාන අවදානම් ලෙස කරුණු 4 ක් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබුණි. එනම්;

    (අ) කිසියම් පරිශීලකයෙකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටළු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම.

    (ආ) අතථ්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත (Speculation) රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම.

    (ඇ) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහල  සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහාද අතථ්‍ය මුදල් භාවිතා කරනු ලැබිමට හැකි වීම.

    (ඈ)   විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදෑ ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත.  මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක  12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනාගෙන නොමැත.  ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාරව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිතා කිරීමට අවසර නැත.

    එබැවින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට අනතුරු අඟවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් එහිදී පවසන ලදී.

    “ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්‍රකාශිත විද්‍යුත් මුදල් ඇතුළුව අතථ්‍ය මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුලින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (mining) හෝ, මුලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කරගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල් (Virtual Currency Exchanges) සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බවද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ“, යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

    පවතින තත්ත්වය තුළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමනාකාරයේ තීරණයක් ගනු ඇත්දැයි අපට ඉදිරි දින කිහිපය තුළ දැකගත හැකි වනු ඇත.