නැව් ගාස්තු අහස උසට නගී. ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යන ලකුණු

    October, 18, 2021

    ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නෞකා ගාස්තු මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයකට මුහුණ පා සිටී. මක් නිසාද යත් භාණ්ඩ ආනයනය වෙනුවෙන් අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ලොජිස්ටික් කර්මාන්තයේ නිරත සමාගම්වලට ඉතා සුබදායී පරිසරයක් නිර්මාණය කර ඇත. එම කර්මාන්තයන් හි නිරත බොහෝ සමාගම් විසින් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම මූල‍්‍ය කාර්යසාධනය මෙම වසංගත සමය තුළ දී අත්පත් කරගැනීමට සමත්වී තිබේ.

    පසුගිය කාලයේ දී මෙරට ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට නැව් ගාස්තු වැඩි වීම ද සෘජුව බලපෑ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහාත අද දෙරණ කළ විමසීමක දී කියා සිටියේය.

    "ලංකාවට එන්න සෘජු යාත්‍රා එකක්වත් නොමැති බව මට නවසීලන්තයෙන් කතා කරලා කිව්වා. භාණ්ඩ සිංගප්පූරුවට යවලා එතනින් ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය බව ඔවුන් පවසනවා. ලංකාව හරහා ගිය යාත්‍රා දැන් කොළඹ වරායට වාර්තා කරන්නේ නැහැ කියලා ඔවුන් කියනවා. අපට නොදැනුවත්වම නැව් ගාස්තු තුන්ගුණයකින් වැඩිවෙලා තියෙනවා. කිරිපිටි මිල ඉහළ දමන්න මේ සාධකයත් බලපානවා", යනුවෙන් ඔහු පැවසීය.

    මෙම විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වන කොළඹ නාවික ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාල මහාතගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙය ගෝලීය සැපයුම්දාමයේ ඇති වී තිබෙන ඉහළ ඉල්ලුම් තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් බවයි.

    "මේක අපිට විතරක් නෙමෙයි, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ ලෝකේ හැම රටකටම බලපාලා තියෙනවා. කොවිඩ්-19 වසංගතයත් සමඟ සැපයුම් ජාලයේ බිඳවැටීම් තිබෙනවා. මේ ගේන්නේ containerize cargo. යුරෝපයේ, ඇමරිකාවේ සහ බටහිර රටවල ආර්ථිකය දැන් ඉතාමත් ශක්තිමත් ලෙස නැගිටලා තිබෙනවා. පාරිභෝගිකයන්ගේ භාණ්ඩවලට තිබෙන ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. උදාහරණයක් විදියට ඇමරිකාවේ පාර්භෝගිකයාට GDP එකෙන් 8% ක විතර අමතර සල්ලි ඔවුන්ගේ අතේ තියෙනවා. මොකද පහුගිය කාලේ ඔවුන් වියදම් නොකළ නිසා. අවුරුද්දක් ඒකහමාරක් විතර ඔවුන් නිවාඩුවලට ගියේ නැහැ, වාහන ගත්තේ නැහැ, ඒවා නතර වෙලා තිබුණේ. ඒ කාලේ රජය විසින් ඔවුන්ට අතිරික්ත මුදල් ගෙව්වා. දැන් ඒ ඉතිරි කරපු මුදල් ඒ අය වියදම් කරනවා. ඒ නිසා භාණ්ඩවලට ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. ඒකේ දී ආසියාවේ ඉඳන් භාණ්ඩ නැව් ඒ රටවලට යද්දී නැව්වල ධාරිතාව පිරීඉතිරිලා ගිහිල්ලා තියෙනවා. නැව් ඉඩපහසුකම්වලට සැපයුමට වඩා ඉල්ලුම වැඩිවෙලා."

    "කොවිඩ් නිසා විවිධ අවස්ථාවල දී ඒගොල්ලන්ගේ වරායවල, ට්‍රක්ස්වල සැපයුම්දාම බිඳවැටීම නිසා භාණ්ඩ එක එක තැන්වල නතර වෙලා. ඇමරිකාවේ මේ වෙන කොට නැගෙනහිර කලාපය ගත්තොත් නැව් 100කට එහා භාණ්ඩ බාන තුරු නැංගුරම්ලාගෙන  බලාගෙන සිටිනවා. එංගලන්තේ, යුරෝපෙත් එහෙමයි. ඇමරිකාවේ බටහිරටත් ඒක ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම නත්තල් කාලය වෙන කොට ඒගොල්ලෝ ගෙන්වන භාණ්ඩ තවත් වැඩිවෙනවා. මේවා බාගන්න බැරුව නැව් සුමාන දෙක තුන වරායෙන් එලියේ තියෙනවා. එතකොට ඒ නැව් හිරවෙලා තියෙන නිසා නාවික පරිමාවත් අඩුවෙලා. ඒවා මෙහෙට එන්න කල් යනවා. ඒ සැපයුමත් අඩුවෙලා ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසා වෙළෙඳපොළේ ස්වයක්‍රීයවම ඉල්ලුම වැඩිවෙලා. සැපයුම අඩුවෙලා. නැව් ගාස්තු වැඩිවෙනවා. විශේෂඥයින් කියන්නේ මේ ප්‍රවණතාව තව මාස 12 ක් විතර තියෙන්න පුළුවන් කියලා. සමහර විට පෙබරවාරි මාසයේ චීන අවුරුදු සමය වෙනකොට සුළු අඩුවීමක් වෙන්න පුළුවන්. දැන් ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. කොහොම වුණත් කොවිඩ්වවල පෙර තිබුණු මට්ටමට නැව් ගාස්තු අඩුවෙයි කියලා හිතන්න බැහැ. ලෝකේ කන්ටේනර් නැව් තියෙන්නේ 5,500 ක් විතර. එයින් සියයට 10 ක් 12 ක් විතර වරායවලම හිරවෙලා. එතකොට ඒ ධාරිතාවය නැහැ. හිස් කන්ටේනර් ඇත්තෙත් නැහැ. ඒ නිසා කන්ටේනර් හිඟයකුත් තියෙනවා. මේ සියලු කාරණා නිවැරදි වෙන්න මාස 12 ක් 18 ක් අතර කාලයක් යයි කියලා තමයි කියන්නේ. සැපයුම්දාමයේ සිටින නැව් සමාගම්, ලොජිස්ටික් සමාගම් විශේෂ ලාභ ලබන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. එය වෙළෙඳපොළ තත්ත්වයක්. කෘතිමව ඇති කළ දෙයක් නෙමෙයි."

    Drewry Shipping Consultants Limited විසින් නිකුත් කරනු ලබන World Container Index සංයුක්ත දර්ශකයට අනුව මෙම වසර තුළ අඩි 40 බහාලුමක නැව් ගාස්තුව ඩොලර් 10,130 ක් දක්වා 283% ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.

    පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සටහනකි.