නැව් සමාගමේ ජෙට්වින්ග් කොටස් ගනුදෙනුවෙන් දෛනික පිරිවැටුමට තල්ලුවක්

    July, 13, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද දින ගනුදෙනු ආරම්භ කර පළමු පැය ඇතුළත දී රුපියල් මිලියන 366 සීමාව ඉක්මවා ගියේය.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දෙන ලද්දේ ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි.

    මෙහිදී සමාගමේ අට වැනියට විශාලතම කොටස් හිමියා වූ ශ්‍රී ලංකා ෂිපිං කම්පැනි ලිමිටඩ් සතුව තිබූ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 22.72 ක් රු. 11.60 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් මිලියන 263.63 ක පිරිවැටුමක් එමඟින් ජනනය වී තිබිණි. මෙම කොටස් ප්‍රමාණය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 4.53% කි.

    මෙම සතිය ආරම්භයේ පටන් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම් මට්ටම් විශාල වශයෙන් පහළ ගිය අතර එහිදී සඳුදා (09) සහ අඟහරුවාදා (10) දිනවල වාර්තා වූ පිරිවැටුම් පිළිවෙලින් රු. මිලියන 154.88 ක් සහ අඟහරුවාදා රු. මිලියන 142.69 ක් වශයෙන් ඉතා පහළ වැටුණි.