නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් ඉන්දියානුවන්ට වීසා සහන නැහැ – ඇමති මලික් කියයි

    October, 27, 2017

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින්, ඉන්දියානු වෘත්තිකයින්ට හෝ කම්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා කිරීම සඳහා වීසා සහන ලබා නොදෙන බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    බුඩාපෙස්ට් නුවර ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ලෝක අපනයන සංවර්ධන සංසදය 2017 අතරවාරයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව The Hindu Business Line වාර්තා කර තිබේ.

    Business Line වෙත සම්මුඛ සාකච්ඡාවක දී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඉන්දියාවෙන් ආයෝජන ගලා එන තොරතුරු තාක්ෂණ හා සෞඛ්‍ය වැනි හඳුනාගත් අංශ සඳහා පමණක් වීසා සහ රැකියා බලපත්‍ර සඳහා ඇතැම් ලිහිල්කරණයන් සිදුවනු ඇති බවයි.

    මෙහිදී සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙසේ පවසා තිබේ.

    “මේ ගිවිසුම් යටතේ පුද්ගලයින්ට පැමිණිය නොහැකි බව අප කියා තිබෙනවා. නමුත් තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය වැනි ඇතැම් අංශ සඳහා ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකර මෙහෙයුම් ස්ථාපිත කිරීම් අනුමත කෙරෙනවා. එහිදී එම ආයෝජකයින් හට අවම වැටුප වැනි සීමාවන් යටතේ කම්කරුවන් ලබා ගැනීමට පුළුවන්.“

    “ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක දී ශ්‍රී ලංකාවට වාසි අත්වන බව විශේෂයෙන් සඳහන් කරන්නු පුළුවන්. අපගේ අපනයනවලින් සියයට 70 ක් පමණ ඉන්දියාවට යවන්න අපට එමඟින් අවස්ථාව උදා වෙනවා. ඉන්දියාව පැත්තෙන් බැලුවහොත් එය සියයට 7-8 ක් පමණයි වෙන්නේ. ඒ පිළිබඳ අපට සතුටට පත්වෙන්න පුළුවන්.“

    2016-17 වකවානුව සලකන කල ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.9 ක අපනයන සිදුකර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියට කර ඇති අපනයන වටිනාකම ඩොලර් මිලියන 602 ක් ලෙසින් වාර්තා වේ.