නිදහසෙන් පසු වැඩිම ණය මේ වසරේ දී ලබා ගෙන. රාජ්‍ය ආදායම අඩුවීමෙන් රු. කෝටි හැටදහසක පාඩුවක් – කබීර් හෂීම්

    November, 12, 2020

    ශ්‍රී ලංකාව නිදහසෙන් පසු වසර 73 ක් කාලය තුළ මෙතෙක් ලබා ගෙන ඇති වැඩිම ණය ප්‍රමාණය මෙම වසරේ දී ලබා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද (12) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඉතා අවිධිමත්එකක් බවයි. එසේම වෘත්තීය ප්‍රමිතියකින් තොර, නොගැළපෙන, ආධුනික, මනෝකල්පිත මූල්‍ය න්‍යයායක් ක්‍රියාත්මක කරමින් රජයේ බදු ආදායම අඩු වී ඇති බවත්, එය රු. කෝටි 60,000 ක පාඩුවක් බවත් පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ,

    “2020 පළවෙනි මාස 4ට සහ අවසන් මාස 04ට vote on account දෙකක් හරහා මේ සභාව ණය ගැනීම් සඳහා අවසරය ලබා දුන්නා. හැබැයි මැද මාස 04ක ණය ගැනීම් සඳහා කවුද අවසරය දුන්නේ? ඒ කියන්නේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාස 04 ණය වශයෙන් කොපමණක් ලබා ගෙන තියෙනවාද, ඒ මුළු මුදලම මේ රටේ පුරවැසියන්ට දැන ගන්න මෙතෙක් අවස්ථාව තිබුණේ නැහැ. පළවෙනි vote on account එක් ගත්තාම අපි රු. බිලියන 721 ක් ණය හැටියට ගන්න අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම දෙවෙනි vote on account  එකෙන් අපි තව බිලියන 1,300 ක ණයක් ලබා ගැනීම සඳහා අපි අනුමාත කළා. මේ දෙක එකතු කෙරුවාම රු. බිලියන 2,000  ක්. නැත්තන් රු . කෝටි ලක්ෂ දෙකක්. හැබැයි අර මැද මාස 04 ලබා ගත් ණය ප්‍රමාණය අපි විපක්ෂයක් හැටියට මේ සභාවේ මන්ත්‍රීවරු හැටියට අපි දැනගෙන හිටියේ නැහැ.

    “අපේ රටේ නිදහසෙන් අවුරුදු 73 කට පසුව වැඩිම ණය ප්‍රමාණය අරන් තියෙන වසර මේ වසර. මේ විසර්ජන පනත අනුව දැන් අපිට පැහැදිලියි මුළු ණය ප්‍රමාණය රු. බිලියන 2,650කට මේක වැඩි වෙනවා.  තවත් වාර්තාවක්. හැබැයි අවුරුදු 73කට පසුව වැඩිම ණ්‍ය ප්‍රමාණය අරන් තියෙනවා නම්, මේ අවුරුද්ද තුළ කියන්න මොකක්ද කෙරුවේ කියලා. මේ කඩා වැටීම පටන් ගන්නේ 2020 ජනවාරි මාසයෙන්. කොරෝනා එකට කලින්.“

    “ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබ මුදල් අමාත්‍යවරයා හැටියට ඉතා අවිධිමත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරුවා. කිසිම වෘත්තීය ප්‍රමිතියකින් තොර, ඒ වගේම නොගැළපෙන ආධුනික, මනෝකල්පිත මූල්‍ය න්‍යයායක් ක්‍රියාත්මක කරමින් මොකක්ද වුණේ. බදු රාජ්‍ය ආදායම අඩු කළා. අපිට ඇතිවුණු පාඩුව රු. කෝටි 60,000ක්. ඒ වෙනුවෙන් මේ රටේ ජනයාට සහන ලැබුණාද, බඩු මිල අඩුවුණාද, කාටවත් ඒකෙන් වාසියක් වුණාද?“

    “මහ බැංකුවේ half yearly වාර්තාව අනුව කියනවා 2019 ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා රාජ්‍ය ආදායම රු. බිලියන 1031 යි. හැබැයි 2020 වෙනකොට ඒ කාලයේම රාජ්‍ය ආදායම රු. බිලියන 760කට අඩුවෙලා තියෙනවා. මේ අඩු වීම සිද්ධ වෙන්නේ ඔබ ගන්න ඒ ප්‍රතිපත්ති තීරණය මත. පහුගිය කාලේ අපේ බදු අඩුකිරීමෙන් සිදුවුණේ රාජ්‍ය ආදායම අඩුවීම. සාමාන්‍යයෙන් රටක ද.දේ.නිෂ්පාදිතයෙන් අඩු තරමින් සියයට 20 රාජ්‍ය ආදායම් ලබා ගැනීමේ ප්‍රතිශතයක් තිබිය යුතුයි. ලංකාවේ හැමදාම සියයට 10 ඉක්මවා රාජ්‍ය ආදායම අපි එකතු කර ගත්තා. හැබැයි මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට 1948 න් පසුව තව වාර්තාවක් ආණ්ඩුව තියනවා. ඒ කියන්නේ පළවෙනි වතාවට රාජ්‍ය ආදායම සියයට 10ට වඩා මේ වසරේ අඩුවෙනවා.“

    “මේවා මනින්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මිනිස්සුන්ගේ ජීවිත රටාව අනුව බලන්න. අද වෙන කොට අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාගෙන් අහනවා, මහ බැංකු වාර්තාවක් අනුව දැන් වෙනකොට මේ රටේ වාණිජ බැංකු සහ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලින් දැනට මේ රටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පුවලට උකස් තියලා තියෙන ප්‍රමාණය රු. බිලියන 643ක්. ඔබගේ බදු ආදායම් මේ වසරේ බිලියන 400කට වඩා අඩුවට වැටෙයි කියලා වාර්තා කරන අතර ඔබගේ අද රත්තරන් බඩු උකස් තියලා තියෙන ප්‍රමාණයම බිලියන 643යි. එතකොට මේකෙන්ම පේනවා මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා.“

    “ක්‍රෙඩිට් කාඩ් පළවෙනි කාර්තු දෙකේ විතරක්, දෙවෙනි කාර්තාවේ විතරක් 41% ක් ආපහු ගෙවලා නැහැ. ඒකේ වටිනාකම non paid credit card value රු. බිලියන 15.8. ක්‍රෙඩිට් කාඩ්වලට ගෙවන්නේ නැහැ. රත්තරන් බඩු උකස් තියනවා. ඔබතුමන්ලා තියනවා රට හොඳටම දුවනවා කියලා.“