October, 10, 2018
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව SBS පුවත් සේවය වාර්තා කර සිටී.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව අමාත්‍යධුරයක් වන නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍යධුරය හොබවන Alan Tudge විසින් මේ බව ඊයේ (09) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.
එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් පැමිණ ස්ථාපිත වන්නේ මෙල්බර්න් සහ සිඩ්නි නගර ආශ්‍රිතව බව රජය පවසයි.
ඊට අමතරව බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලද මෑත කාලයේදී සැලකිය යුතු සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ස්ථාපිත වූ බවද රජයේ දත්ත පෙන්වා දෙයි.
මෙමගින් මෙම ප්‍රධාන නගර වල ජනගහනය සීඝ්‍රව ඉහළ යන අතර යටිතල පහසුකම් වලට සාපේක්ෂව වැඩි වන ජනගහනය දැඩි පීඩනයක් එල්ල කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අනුව එහි වාර්ෂික කෝටාව 190,000 කි.
එයින් 5,000 ක පමණ සංඛ්‍යාවකට පමණක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ස්ථාපිත වීමට ඉඩ සලසයි.
නමුත් මෙම නව වැඩසටහන යටතේ වාර්ෂික කෝටාවෙන් අඩක් පමණ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල හෝ කුඩා නගර වල ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි.
ප්‍රථමයෙන්ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ නිපුණතා සංක්‍රමණිකයින්ට බවත් මානුෂීය වීසා මත සිටින පුද්ගලයින්ව සහ සරණාගත වීසා ලාභීන්වද මෙම වැඩසටහනට හසු කරගන්නා අයුරු මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවද නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍ය Alan Tudge පැවසීය.
ඉහත කොන්දේසි උල්ලංඝනය කළහොත් අදාළ සංක්‍රමණිකයින්ට කුමන අන්දමේ දඬුවමක් හෝ දඩයක් ලබා දෙනවාද යන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් තීරණය කර නොමැති බව ද නගර සහ ජනගහනය සම්බන්ධ අමාත්‍ය Alan Tudge පැවසීය.
කෙසේවෙතත්, වීසා සම්බන්ධ නීති වෙනස් කිරීමට ඉතා පහසු නමුත් ඒවා බලාත්මක කිරීමට ඉතා අපහසු බව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශයේ හිටපු ප්‍රධානී Roman Quadvlieg පවසා තිබේ.
ප්‍රාදේශීය ප්‍රදේශවලට සංක්‍රමණිකයින්ව යොමු කරනවානම් ඒ ප්‍රදේශ වල ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රජය විසින් සැපයිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින නිපුණතා හිඟය පිරවීම සඳහා මේ වන විට වීසා වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත ගිය නිපුණතා සංක්‍රමණිකයින්ගෙන් දහයෙන් එකක් මාස 18 ක් තුළදී නැවතත් නාගරික පෙදෙස් වෙත පැමිණෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
2016-17 මුල්‍ය වර්ෂයේදී ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණිකයින් ස්ථාපිත කිරීමේදී හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්තේ පර්ත් කලාපයේ බව හෙළිවී තිබේ.
කෙසේවෙතත්, පසුගිය නොවැම්බර් මාසයේ සිට පර්ත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
මේ අතර Darwin, Adelaide, Canberra සහ Hobart තවමත් ප්‍රාදේශීය වීසා සඳහා අදාළ වේ.
Video Story