නිලාවැලි වෙරළේ කොකෝ විලා ඇරඹේ

    April, 21, 2017

    ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළ ආසන්නයේ දර්ශනීය ස්ථානයක පිහිටා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ 10 වන කොකෝ විලා සංචාරක බංගලාව විවෘත කිරීමේ උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

    සියලු නවීන පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක නිකේතනය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩා සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැකිය.

    මීට සමගාමීව පොල් වගාකිරීමේ මණ්ඩලයේ නවතම දෙමුහුන් පොල් පැල තවාන පාසිකුඩා හි පිහිටුවීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. අක්කර විසිපහකින් සමන්විත මෙහි නිෂ්පාදනය කෙරෙන පොල් පැළ උතුරු නැගෙනහිර පොල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගෙවතු වගා සංවර්ධනයට යොදාගැනීම අපේක්ෂාවයි. යාපනය අර්දද්වීපය කේන්ද්‍රකර ගනිමින් මෙරට දෙවන පොල් ත්‍රිකෝණය සනිටුහන් කරන උතුරු නැගෙනහිර පොල් සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ වන විටත් අක්කර අසූදහසකට අධික භුමි ප්‍රමාණයක පොල් වගා ව්‍යාප්ති කටයුතු ආරම්භ කර තිබේ.

    අමාත්‍ය නවින් දිසානායක මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පොල් වගාකිරීමේ මණ්ඩලය මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවයි.

    පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල, සාමාන්‍යාධිකාරී කේ. ඩී. එල්. ධර්මසිරි යන මහතුන් ඇතුලු විධායක

    නිලධාරීන් පිරිසක් නිලාවේලි කොකෝ විලා සංචාරක බංගලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය.