නිසාන් ලීෆ් බදු අවුල ලිහෙන ලකුණු – ආනයනකරුවෝ හා මුදල් ඇමති හමුවක් අද

    November, 15, 2017

    විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා සිය අයවැය කතාවේ දී සඳහන් කළද එම වාසිය නිසි පරිදි පාරිභොගිකයාට නොලැබෙන තත්ත්වයක් පිළිබඳ කතිකාවතක් අයවැයෙන් පසුව ඇති වී තිබේ.

    මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් කියා සිටින්නේ අදාළ රුපියල් ලක්ෂ 10 ක බදු සහනය ජපානයේ සිට අලුතින්ම ආනයනය කරනු ලබන වාහනවලට පමණක් හිමිවෙන නිසා වර්තමානයේ පවතින තත්ත්වය අනුව එවැනි සහනයක් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවන බවයි.

    මක් නිසාද යත්, ජපානයේ සිට අලුත්ම ආකාරයෙන් විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය නොකෙරෙන අතර ඒවා ජපානයේ ලියාපදිංචි කර පසුව ලියාපදිංචිය අවලංගු කරවා ගැනීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වන බැවිනි.

    මේ සම්බන්ධයෙන් පවතින ගැටළුකාරීත්වය විසඳීම සඳහා වාහන ආනයනකරුවන් හා මුදල් අමාත්‍යවරයා අතර හමුවක් අද (15) දිනයේ දී පැවැත්වෙන බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මෙහිදී වැඩිදුරටත් වාර්තා වන්නේ ජපානයේ පළමු ලියාපදිංචිය සිදුකරනු ලැබූ විදුලි මෝටර් රථ ආනයනය සඳහා ද පවතින බදු සහනය ලබා දීමට කටයුතු කරනු ඇති බවයි.