නීතිවිරෝධී ස්ප්‍රීතු හරහා රජයට බිලියන ගණනක පාඩුවක්

    September, 3, 2018

    පසුගිය වසර හා සැසඳීමේ දී මෙම වසර තුළ දී නීති විරෝධී ස්ප්‍රීතු ශ්‍රී ලංකාවට ගෙන්වීම සීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සභාපති/ කළමනාකර අධ්‍යක්ෂ හැරී ජයවර්ධන මහතා පවසයි. 2017/18 ඩිස්ටිලරීස් සමාගමේ වාර්ෂික වාර්තාව තුළින් ජයවර්ධන මහතා මේ බව අවධාරණය කර ඇත.

    “රේගුව හරහා විශාල වශයෙන් ස්ප්‍රීතු ගෙන්වනවා. ඒවාට බදු ගෙවීමක් සිදුවන්නේත් නැහැ. ඒවා ගෙන්වන්නේ තිනර්, සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගන්නා ස්ප්‍රීතු හෝ තීන්ත ඉවත් කරන දෑ ලෙසින්. රුපියල් බිලියන ගාණක් මේ හරහා ආන්ඩුවට අහිමි වෙනවා. මේවා සිදුකරන්නේ දේශපාලන කණ්ඩායම්වලට අයත් බලගතු පුද්ගලයින් විසින්. සමාජය මේ බව හොඳින් දන්නවා. ඔවුන්ට බලධාරීන්ගේ අනුදැනුමත් නොඅඩුව ලැබෙනවා“, යැයි ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටී.