නීතිවිරෝධී සිගරට් ගෙන්වන්නේ දුම්කොළ සමාගම් විසින්මයි – රාජිතගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    January, 24, 2019

    ශ්‍රී ලංකාවට නීතිවිරෝධී දුම්වැටි ගෙන්වනු ලබන්නේ දුම්කොළ සමාගම් විසින්ම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා පැවති උත්සව අවස්ථාවක දී අමාත්‍යවරයා මේ බව හෙළිදරව් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

    “දුම්කොළ සමාගම්වලින්ම තමයි නීතිවිරෝධී සිගරට් ලංකාවට ගේන්නේ වැඩිහරියක්. ඒ ගෙනල්ලා ඒ ගොල්ලොම අල්ලනවා. ඒ ගොල්ලෝ ගෙනල්ලා, ගේන මිනිහාටත් සල්ලි දීලා, ඒ තොගවලට අලාභයත් විඳිමන් ඔවුන්ම කස්ටම් එකට දැනුම් දෙනවා ඔන්න එනවා කියලා. ඒක පත්තරේ දානවා. ටීවී එකේ දානවා. ඒ වගේ දිගින් දිගටම සති කිහිපයකට සැරයක් මේක කරනවා.  කරලා රටේ ජනමතයක් ඇති කරනවා, මේක වැඩිවීම තුළ දුම්බීම වැඩි වෙනවා කියලා. ඒක ඒ ගොල්ලන්ට ලාභයි, මගේ බද්දට වැඩිය. බද්ද අයින් කර ගත්තොත් එච්චර වියදම් කරන්න ඕනේ නැහැ.“

    මේ අතර ආචාර්ය එස්. එන්. මොරායස්, මහාචාර්ය එස්. එස්. කොළඹගේ සහ ආචාර්ය සී. එන්. රත්නායක යන විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් පිළියෙල කරන ලද ”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting Tax Implications for Sri Lanka) වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර එහිදී කියැවුණේ, 2017 වසර තුළදී පමණක් ශ‍්‍රී ලංකා රජයට රු. බිලියන 17.98 ක් තරම් දැවැන්ත බදු ආදායමක් නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් අහිමි වී ඇති බවයි.

    මෙරට සිගරට් නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා බලයලත් එකම සමාගම ලංකා දුම්කොළ සමාගමයි (Ceylon Tobacco Company PLC). 2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව වෙනුවෙන් මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් 2018 අගෝස්තු 01 සිට රජය විසින් සිගරට් බදු වැඩි කිරීම හේතුවෙන් එම කාර්තුව තුළ දී සිගරට් විකුණුම් පරිමාව 14.2% කින් හා ශුද්ධ පිරිවැටුම 7.8% කින් පහළ ගොස් ඇති බව සමාගම කියා සිටී.