නුවර-කොළඹ අධිවේගී මාර්ගය ගැන නව බලාපොරොත්තුවක්

    May, 4, 2015

    කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.

    මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි.

    කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉදිකරමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ කටුගස්තොටින් වන අතර මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 99 කි.

    මාර්ගය, කඩවත, අඹේපුස්ස හරහා කටුගස්තොට දක්වා ඉදිකිරීමට නියමිතය.