නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පරම්පරා දෙකක් සමග එක්වී ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරයි

    October, 16, 2019

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දිවයින පුරා පිහිටි ශාඛා වලදී ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීමට පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන්ට නේෂන්ස් ට්‍රස්ට් ශාඛා වෙත පැමිණෙන ලෙස ආරාධනා කරන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රු. 200,000/- ක රක්ෂණ ආවරණයක් ප්‍රථම වසර සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන ලද අතර දරු දැරියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට ද බැංකුව කටයුතු කළේ ය.

    මීට අමතරව මෑතකදී හඳුන්වා දුන් නේෂන්ස් ‘ප්‍රබුද්ධ’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්ද දියත් කෙරිණි. මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ මුදල් තැන්පත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, තැන්පත් කරන මුදලේ වටිනාකම අනුව කුඩ, බිත්ති ඔරලෝසු සහ ට්‍රැවලින් බෑග් ඇතුළු වටිනා ත්‍යාග රාශියක් පිරිනැමේ.

    එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන් අතර සම්බන්ධතාව වර්ධනය කරවීමේ අරමුණින් යුතුව ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි. මෙහිදී එම දැන්වීම් වල දක්වා ඇති උපදෙස් අනුව, දැන්වීම පළකරන ලද කඩදාසි භාවිතයෙන් දරුවන්ට සරල සරුංගලයක් නිර්මාණය කරදීම සඳහා වැඩිහිටියන් යොමුකරවීම සිදුවිය. වැඩිහිටියන් හා දරුවන් අතර පැවති සම්බන්ධතාව ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා සහ අන්තර්ජාලය වැනි දේ නිසා සමාජයෙන් ගිලිහී යමින් පවතී. එම නිසා මෙම සරල ක්‍රියාකාරකම පරම්පරා දෙක අතර සමීපත්වය වර්ධනය කරවීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉලක්කය විය. මෙලෙස සාදන ලද සරුංගල් වල ඡායාරූප WhatsApp හෝ Viber ඔස්සේ බැංකුව වෙත එවන ලෙස දැනුම්දෙන අතර, එලෙස ඡායාරූප එවන ලද දරුවන් සහ වැඩිහිටියන් අතරින් මුල්ම 50 දෙනා වෙත විශේෂ ත්‍යාග පිරිනමනු ලැබේ.

    නේෂන්ස් ප්‍රබුද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමේ අනුග්‍රහයෙන් දරුවන්ට තම දෙමාපියන් වෙත ආදරය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා තිබිණි. මෙහිදී දරුවන්ට එම ආදර පණිවිඩය දුරකථන ඇමතුමක් ඔස්සේ පටිගත කිරීමට අවස්ථාව ලැබුණු අතර, ඔක්තෝබර් 01 දින ලෝක වැඩිහිටි දිනයේදී එම පණිවිඩය ස්වයංක්‍රියව එම දෙමාපියන්ගේ දුරකථන වෙත යොමු විය.

    මෙම වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි සංජය සෙනරත් මහතා මෙසේ පැවසී ය. ‘‘අප සෑම වසරකදීම මේ දිනය සමරන නමුත් මෙවර අපට විශේෂ කාරණයක් තිබෙනවා. එනම් මේ වනවිට අප දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන දෙපාර්ශ්වයටම ගැළපෙන සේවාවන් හඳුන්වා දී තිබීමයි. ‘නේෂන්ස් කිඞ්ස්’ ළමා ඉතුරුම් ගිණුම සහ ළමා ආයෝජන සැලසුම් දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක වුවත් නේෂන්ස් ප්‍රබුද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම අප ඉතා මෑතකදී හඳුන්වා දුන් ගිණුමක්. ලෝක ළමා සහ වැඩිහිටි දිනය සුවිශේෂී දිනයක් වන්නේ එය පැරණි පරම්පරාව ලොවට දායාද කළ වටිනා දේවල් සමරන අතරම අනාගත පරම්පරාව පිළිබඳව බලාපොරොත්තු දල්වන දිනයක් වන නිසයි. ඒ නිසා මෙම පරම්පරා දෙකේම අනාගතය දීප්තිමත් කරන සේවාවන් පිරිනමන බැංකුවක් ලෙස මෙම දිනය සැමරීමට ලැබීම අපට මහත් සතුටක්.”

    වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සඳහාම හඳුන්වා දී ඇති නේෂන්ස් ප්‍රබුද්ධ ගිණුම මගින් දෛනික ශේෂය අනුව සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා වැඩි 6% (වා.ස.පො.අ. 6.168%) ක පොලියක් ලැබීම, ගිණුමට බැරවන මාසික විශ්‍රාම වැටුප මෙන් 15 ගුණයක් දක්වා ණය අයදුම් කළ හැකි වීම, ගිණුමේ ශේෂය අනුව බැංකු අයිරා පහසුකම් හිමිවීම, හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා කල්පිරීමේ දිනයට පෙර ස්ථාවර තැන්පතු ආපසු ගැනීමේදී දඩ මුදලක් අය නොවීම සහ කවුන්ටරයෙන් මුදල් ආපසු ලබාගැනීමේදී කිසිදු ගාස්තුවක් අය නොවීම වැනි ප්‍රතිලාභ රාශියක් හිමිවේ.

    නේෂන්ස් කිඞ්ස් ඉතුරුම් ගිණුම සැලසුම් කර ඇත්තේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය වන අයුරිනි. රු, 500 ක අවම තැන්පතුවක් සමග මෙම ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි අතර එලෙස විවෘත කෙරෙන සෑම ගිණුමක් වෙනුවෙන්ම දරුවන්ට ටැබ්, දුරස්ථ පාලක හෙලිකොප්ටර්, BMX බයිසිකල්, ඕගන්, පාසල් බෑග් සහ වතුර බෝතල් ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වේ.
    'Business Today' සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.