නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ සභාපති ලෙස ගිහාන් කුරේ මහතා පත්කෙරේ

    December, 14, 2018

    නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව සභාපතිවරයා ලෙස, 2018 දෙසැම්බර් මස 01 වැනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ගිහාන් කුරේ මහතා පත්කර ඇති බව, එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කළ හැකි උපරිම කාලසීමාව වන වසර 9 ක කාලයක් අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළ හිටපු සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ විශ‍්‍රාම යාමෙන් අනතුරුව කුරේ මහතා මෙම තනතුරට පත්වී තිබේ.

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ගිහාන් කුරේ මහතා එම සමූහ ව්‍යාපාරයේ මූල්‍ය හා ගිණුම්කරණය, බදු, ආයතනික මූල්‍ය හා ක‍්‍රමෝපාය, භාණ්ඩාගාරය, තොරතුරු තාක්ෂණ කටයුතු (John Keells IT ඇතුළුව) සහ ජෝන් කීල්ස් පර්යේෂණ අංශය යනාදී අංශ වල සමස්ත වගකීම දරයි. ඊට අමතරව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුරුද එතුමා වෙත හිමිවී ඇත.

    ඇමරිකා එක්සත් ජනපදයේ Houston" Texas හි රයිස් විශ්ව විද්‍යාලයේ 'Jesse H. Jones Graduate School of Management' වෙතින් MBA උපාධියක් හිමිකරගෙන ඇති ගිහාන් කුරේ මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වෙයි. එමෙන්ම ඒ මහතා  ඕස්ටේ‍්‍රලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී වරයෙකු වන අතර එක්සත් රාජධානියේ අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනයෙන්, අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා තිබේ. දැනට ඒ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

    'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 94 ක් විවෘත කර ඇති අතර ATM යන්ත‍්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇතග ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 45 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay  ජාලය ඔස්සේ තවත් ATM යන්ත‍්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

    ඡායාරූපය: ගිහාන් කුරේ මහතා