නොවැම්බරයේ දී ආනයන පහළට. අපනයන ඉහළට. විනිමය විචලනය අවම කිරීමට මහ බැංකුව මැදිහත් වෙයි.

    January, 29, 2019

    ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමඟ 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු විය.

    2018 නොවැම්බර් මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 4.1 කින් ඉහළ ගිය අතර, ආනයන සියයට 9.1 කින් පහළ ගියේය.

    සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන කාලය ආරම්භ වීමත් සමඟ 2018 නොවැම්බර් මාසයේදී සියයට 18.2 ක වර්ධනයක් වාර්තා කරමින් සංචාරක ඉපැයීම් නැවත ශක්තිමත් ලෙස ඉහළ ගියේය. 2019 වසර පුරා සංචාරක අංශය සිය ශක්තිමත් කාර්යසාධනය අඛණ්ඩව පවත්වාගනු ඇතැයි අපේක්ෂිතය.
    සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2018 නොවැම්බර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 5.7 කින් අඩු වූ අතර, සමුච්ඡිත ලෙස සැලකීමේ දී සියයට 0.9 ක අඩුවීමක් වාර්තා කළේය.

    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත පීඩන ඉහළ නංවමින් 2018 නොවැම්බර් මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් හේතුවෙන් විනිමය අනුපාතිකයේ ඇති වූ දැඩි විචලනයන් අවම කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මැදිහත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවිය.

    2018 නොවැම්බර් මාසය අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.7කට සමාන වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.0 ක මට්ටමක පැවතුණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.