නෝර්වේ සහ UNDP ශ‍්‍රී ලංකා අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක සහයෝගීතාවයක්

    December, 10, 2018

    නෝර්වේ රාජ්‍යය හා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර ඇතිකරගත් එකඟතාවයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි තිරසාර සංවර්ධන අරමුණු අංක 16 වන සාමය, යුක්තිය පසිඳලීම සහ ශක්තිමත් ආයතන පද්ධතියක් වෙනුවෙන් සුවිශේෂී ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නැංවෙනු ඇත. UNDP ශ‍්‍රී ලංකා ආයතනයේ තිරසාර සංවර්ධන අරමුණු වඩාත් හොඳින් ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා මෙම ව්‍යාපෘතිය විශාල සහයෝගයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2018 දෙසැම්බර් සිට 2020 දෙසැම්බර් අතර කාලසීමාව තුළ එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍යයෙහි නෝර්වේ තානාපතිවරයා වශයෙන් කටයුතු කරන ගරු  තුර්බයොන් ගවුස්ටාඞ්සාතර් මහතා සහ UNDP ශ‍්‍රී ලංකා ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ යෝන් සොරෙන්සෙන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 12.6 (ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5) වටිනාකමකින් මෙම ව්‍යාපෘතිය සවිබලය ලබා තිබේ.

    මෙම සහයෝගීතාවය යටතේ ප‍්‍රතිපත්ති සම්පාදන තෝරාගැනීම් හා අධීක්ෂණ ව්‍යුහයන් සවිබල ගන්වමින් වගකීම්සහිතව හා අන්තර්ග‍්‍රහණයන් වර්ධනය කිරීම වෙනුවෙන් අදාළ ක‍්‍රියාකාරීත්වයන් ඉහළ නැංවීමට කටයුතු කෙරේ. එසේම සමාජයෙහි වරප‍්‍රසාද අහිමි ප‍්‍රජාවන් වෙත නෛතික සුරක්ෂිතතාවය සහ ලිංගිකත්ව සංවේදී සේවා ඇතුළු යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියට සමාන ප‍්‍රවේශයක් සහතික කිරීමටද ඉලක්කගත කෙරේ. ජාතික මෙන්ම උප ජාතික තලයේ ආයතනයන්ට සමාන, වගකීම්සහිතව හා ඵලදායී සේවාවන් සඳහා ප‍්‍රවේශය තව දුරටත් ඉහළ නැංවීමද ප‍්‍රධානම අරමුණකි.

    මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම හරහා 2022 වන විට විශේෂයෙන්ම අවර වරප‍්‍රසාදිත ශ‍්‍රී ලාංකීය ජනයාගේ හිමිකම් සහතික කරමින්, වගකීම්සහිත, ඵලදායී රාජ්‍ය සේවාවක් නිර්මාණය වීම මෙන්ම ප‍්‍රජාවන් අතර සහ රාජ්‍යය කෙරෙහි විශ්වාසය ඉහළ නැංවීම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් නෝර්වේ තානාපති ගරු තුර්බයොන් ගවුස්ටාඞ්සාතර් මහතා මෙසේ පවසා සිටී. ” UNDP ආයතනයේ ප‍්‍රධානතම තිරසාර සංවර්ධන අපේක්ෂාවන් පෙරටුකරගත් සාමය, යුක්තිය පසිඳලීම හා ශක්තිමත් ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වන්නට ලැබීම අපට විශාල සතුටක්. විශේෂයෙන්ම මානව හිමිකම් හා තිරසාර සංවර්ධන අරමුණු ප‍්‍රවර්ධනය සඳහා කැපවී සිටින එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් සමග කටයුතු කරන්නට ලැබීම ඉතාම වැදගත්.”

    ඵලදායී රාජ්‍ය ආයතන ව්‍යුහයක් තිබීම සාමකාමී තිරසාර සංවර්ධිත සමාජ ක‍්‍රමවේදයක් ප‍්‍රවර්ධනයට හා යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියට ප‍්‍රවේශවීම සඳහා ඉතාමත් වැදගත් බවද ඒ මහතා පවසා සිටී.  ”වර්තමානයේදී ශ‍්‍රී ලංකාව අසීරු කාලසීමාවක් පසුකරමින් සිටිනවා. අද අප දකින ධනාත්මක සංවර්ධනයන් අතීතයේදී ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කිරීමේ ප‍්‍රතිඵල ලෙසද දැක්විය හැකියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමය, යුක්තිය පසිඳලීම හා ශක්තිමත් ආයතන පද්ධතියක්  ප‍්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරන කාර්යභාරයට සහයෝගය දක්වන්නට ලැබීම සංවර්ධන පාර්ශවකරුවන් වශයෙන් ඉතාම වැදගත්.” යනුවෙන්ද ඒ මහතා සිය අදහස් දැක්වීය.

    එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වූ ඹභෘඡු ශ‍්‍රී ලංකා ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ යෝන් සොරෙන්සෙන් මහතා මෙසේ පවසා සිටියේය. ”තිරසාර සංවර්ධන අරමුණු සහ 2030 න්‍යාය පත‍්‍රයෙහි ඇති ඉලක්ක අප සපුරා ගත යුතුයි. එමෙන්ම එකමුතුව කටයුතු කරමින් තිරසාර සංවර්ධනය සඳහා වන පොදු අරමුණ සාර්ථකත්වයට පත්කරගත යුතුයි. නෝර්වේ රාජ්‍යය සමග සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට හැකිවීම අපට සතුටක් වන්නේ අන්න ඒ නිසායි. එමෙන්ම තිරසාර ශ‍්‍රී ලංකාවක් උදෙසා අපේ මේ සහයෝගීතාවය ඉතාම වැදගත් වන බව නොඅනුමානයි.”

    ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින් රාජ්‍යයෙහි නෝර්වේ තානාපති ගරු තුර්බයොන් ගවුස්ටාඞ්සාතර්  මහතා සහ UNDP ශ‍්‍රී ලංකා ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ යෝන් සොරෙන්සෙන් මහතා ගිවිසුමට අත්සන් තබමින්.