පරාක්‍රමබාහු රජතුමාගේ පොළොන්නරු යුගයේ දී අප ගෝලීය ආර්ථිකය සමග එකට එක්වුණා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    March, 4, 2019

    ඉදිරියට යාමට නම් අප යළි ගෝලීය ආර්ථිකය සමග බද්ධ වූ රටක් විය යුතු බවත් අපේ රට වෙළඳාම දියුණු කළ රටක් බවට පත්විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, පරාක්‍රමබාහු රජතුමාගේ පොළොන්නරු යුගයයේ දී අප ගෝලීය ආර්ථිකය සමග එකට එක්වූ බවත්, පෙර කී අරමුණුවලින් ඈත් වෙනවා නම් අපි ශ්‍රී ලාංකිකයන් නොවන බවත්ය.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, හිටපු ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විදේශ තානාපතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    අග්‍රාමාත්‍යවරයා මෙහිදී කළ සම්පූර්ණ කථාව පහතින් දැක්වේ.

    අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන ජීවිතයේ දශක තුනක් සමරන දිනයයි. එදා එතුමාගේ දේශපාලන ගමන් මගේ සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, එසේම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද අද මෙම ස්ථානයට පැමිණ සිටිනවා. එදා මංගල සමරවීර මහතා දේශපාලන ගමන් මග ඇරඹුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මම සිටියේ අනෙක් පිලේ. මට ඔහු ප්‍රථම වරට හමුවුණේ 1989 වසරේ පාර්ලිමේන්තුවේදී. නමුත් මගේ පාසල් වියේදී එතුමාගේ පියා හමුවී තිබුණා.

    එතුමාගේ මව වන ඛේමා සමරවීර මැතිනිය හා මාගේ මව අතර මිත්‍රත්වයක් තිබුණු නිසා මට ද එතුමිය ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. මට මතකයි එදා පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී මංගල සමරවීර මහතා හමුවූ මුල්ම අවස්ථාවේදී ඔහු පැමිණ සිටියේ මව සමඟයි. එදා මම වැඩිපුරම කථා කළේ මංගල සමරවීර මහතාගේ මව සමඟයි.

    මංගල සමරවීර යනු 1977 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ විප්ලවයෙන් බිහිවූ චරිතයක්. නිදහස් සමාජයක් සහ නිදහස් ආර්ථිකයක් පැවතුණා. මංගල සමරවීර මැතිතුමා පවසන පරිදි මට විරුද්ධ විවේචන වල මුල්තැන ගත් පුද්ගලයෙක්. නමුත් එතුමා ක්‍රියා කළේ නිදහස් සමාජ හා ආර්ථික මූලධර්ම සමඟයි. එම මූලධර්ම සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක වෙනස් වුණේ නැහැ. ශ්‍රී ලාංකික අනන්‍යතාවය, සංහිදියාව හා දේශප්‍රේමිභාවය වෙනුවෙන් අපි එක ස්ථාවරයක සිට වැඩ කටයුතු කළා. මංගල සමරවීර මහතා සඳහන් කළ ආකාරයට එතුමා එම ප්‍රතිපත්ති සමඟ වැඩ කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂයට පැමිණියා. එතුමාට අපේ පක්ෂය තුල සේවය කිරීමට හැකියාව ඇති නිසා මම එදා එතුමාව අපේ පක්ෂයට පිළිගත්තා. එදා එතුමා පැමිණියේ අසීරු වාතාවරණයකයි.

    නමුත් 2015 දී විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රටේ ගෞරවය යලි ස්ථාපනය කිරීමටත් පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහාත් ක්‍රියා කළා. වර්තමානයේ එතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අතරම ළඟදීම අලූත් අයවැයක් ගෙන ඒමට සූදානම්. ඒ ගැන සිතා බලා එතුමා මෙම උත්සවය අය වැයට පෙර අද පැවැත්වූ නිසා සියලූ ප්‍රශංසා හිමිවනු ඇති නමුත් 05 වෙනිදායින් පසු කුමක් වෙයිද කියා මට සිතාගන්නත් බෑ. කෙසේ හෝ ගෙවුණු දශක තුන පිළිබඳව මා එතුමාට ප්‍රශංසා කළ යුතුයි.

    අද මංගල සමරවීර මහතාගේ මෙම උත්සවයේ තේමාව "සිහිනය වෙනුවෙන්" ඒ සිහිනය කුමක්ද? අප සියලූ දෙනාගේ සිහිනය අරමුණ එකයි. එනම් අපේ ශ්‍රී ලංකාව රම්‍ය ජය භූමිය කරා ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මෙය පරම්පරා ගණනාවක් තුල පැවති සිහිනයක්.

    1947 දී මේ පිළිබඳව විශේෂ බලාපොරොත්තුවක් පැවතියා. එදා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය හා සර්ව ජන ඡන්දය ක්‍රියාත්මක කරා. එදා අපි ජපානය සමග කරට කර සිටි රටක්. 1960 දශකය වන විට යළි අපේ දෙමාපියන්ගේ පරම්පරාවද මේ සිහිනය ගැන සිතුවා. එකල කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව අප හා සිටියා. දැන් එම රටවල් අපට වඩා ඉදිරියට ගිහින්. නමුත් ඉදිරියට යාමේ සිහිනය තවමත් අප තුළ තිබෙනවා. නමුත් රටවල් ගණනාවක් අප පසු කර ගොස් තිබෙනවා. අපට දැන් තිබෙන අභියෝගය වන්නේ අපි කෙසේද එතැනට ගමන් කරන්නේ යන්නයි.

    අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගෙන යනවා. අපිට ඒ පිළිබඳව සතුටු විය හැකියි. බෙදුනු රටක සංහිදියාව ඇති කිරීම ලෙහෙසි පහසු නැහැ. නමුත් අපි ඒ සඳහා පියවර ගෙන තිබෙනවා. තවදුරටත් දේශපාලන විසඳුමකින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කර ගනිමින් ඉදිරියට යා හැකියි. කෙසේ නමුත් ආර්ථික දියුණුව ගැන අපි යලි සිතා බැලිය යුතුයි. අපිට ඒ සඳහා ශක්තිය තිබෙනවා. රට දියුණු කරමින් ජනතාවට යහපත උදා කිරීමට නම් බය නැතිව අප ඒ අභියෝගයට මුහුණ දිය යුතුයි. බිය වුණොත් අපි එකතැන පල් වෙනවා. අද වන විට ගෝලීය දේශපාලනය වෙනස් වී තිබෙනවා. එදා යටත් විජිත කලාපයක් මැද පිහිටි ශ්‍රී ලංකාව අද ලෝකයේ වැදගත් කලාපයක් වන ඉන්දියන් සාගරයේ මැද පිහිටා තිබෙනවා.

    අපේ උත්සාහය හා අප ගන්නා පියවර තුලින් අපට දියුණු විය හැකියි. මේ සඳහා උදාහරණ අප තුලින්ම සොයා ගත හැකියි. අපි පරාක්‍රමබාහු රජතුමාගේ පොළොන්නරු යුගයයේ දී අප ගෝලීය ආර්ථිකය සමග එකට එක්වුණා. ඉදිරියට යාමට නම් අප ද යළි ගෝලීය ආර්ථිකය සමග බද්ධ වූ රටක් විය යුතුයි. අපේ රට වෙළදාම දියුණු කළ රටක් බවට පත්විය යුතුයි. එම අරමුණුවලින් ඈත් වෙනවා නම් අපි ශ්‍රී ලාංකිකයන් නොවෙයි. එදා අපේ මුතුන් මිත්තන් ඒ අභියෝගය භාර ගත්තා. අපි ද එය භාර ගත යුතුයි. ඒ නිසා මංගල සමරවීර ඇමැතිතුමා මෙම මූලධර්මවල පිහිටා ක්‍රියා කරනවා. ඒ පිළිබඳ මා සතුටු වෙනවා. අපේ ආණ්ඩුවේ ගමන් මඟට සෑම විටම එතුමාගේ සහයෝගය ලැබෙනවා. එතුමාගේ පමණක් නොව අපගේ පොදු සිහිනය ඉෂ්ඨ කිරීමේ අභියෝගය බය නැතිව භාර ගෙන ඉදිරියට යමු.