පරිපූර්ණ සර්වග්‍රාහී ඩිජිටල් පරිවර්තනයක් සඳහා UNDP සහ ICTA එක්වෙයි

    August, 26, 2020

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අපේක්ෂාවන්ට සහයෝගය පිණිස තොරතුරු සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිව් අවුරුදු අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.  

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති කාර්ය රාමුව යටතේ පරිපූර්ණ ජාතික ඩිජිටල් මූලෝපායක් නිර්මාණය කිරීම සඳහා ICTA සහ UNDP සහයෝගයෙන් කටයුතු කරනු ඇත. එහිදී ඩිජිටල් යාන්ත්‍රණයන් ඵලදායී ලෙස භාරගැනීම සඳහා රාජ්‍ය අංශය නැවත හැඩගැස්වීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විශේෂිත අවධානය යොමු කරනු ඇත. ‘ඩිජිටල් වෙනස’ අවම කිරීමට සහ සියල්ලන්ගේම අවශ්‍යතා ආමන්ත්‍රණය කල හැකි ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයක් තහවුරු කිරීමටත්,  කිසිවකු අත් නොහැරීමටත් අවශ්‍ය මුලපිරුම් මෙම සහයෝගය ඔස්සේ ක්‍රියාත්මක කරනු ඇත. ප්‍රතිසාධනයේ ජාතික අවධාරණයට අනුකූලව, පශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ආර්ථිකය නැවත පණගැන්වීමේ අරමුණින් ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ ජාතික මූලෝපායක් මෙම පරිවර්තන න්‍යාය පත්‍රය විසින් සංවර්ධනය කර ක්‍රියාත්මක කරනු ඇත. මෙම හවුල්කාරීත්වය විසින් ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ඒකාබද්ධ වැඩසටහනක් වන සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණායතනහි ධාරිතාවන් භාවිතා කරමින්, NextGenGov වැඩසටහන වැනි රාජ්‍ය අංශයේ දැනට ක්‍රියාත්මක හවුල් මුලපිරුම් ඉදිරියට ගෙන යනු ඇත. එමගින්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ආයතනික ශක්තිමත් කිරීම් සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය සිදු වනු ඇත. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය දීම පිණිස එම ආයතනය හැඩගස්වනු ඇත.

    මෙම පරිවර්තනීය න්‍යාය පත්‍රය විසින් නිර්මාණ චින්තන ක්‍රමවේද භාවිතා කරනු ලැබේ. මෙම මුලපිරුම් සංවර්ධනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි පරිවර්තනයේ ප්‍රමුඛ අවධානය යොමු කරනු ලබන බව තහවුරු කරන මානව කේන්ද්‍රීය සැලසුම්කරණය වැනි ක්‍රමවේද ඒ අතර වේ. මානව කේන්ද්‍රීය සැලසුම්කරණය යනු, ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදී ම මානව හෝ පරිශීලක දැක්ම උපයෝගී කර ගනිමින් ගැටලුවලට විසඳුම් නිර්මාණය කරන ක්‍රමවේදයකි. පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් පරිවර්තනය තහවුරු කිරීම සඳහා සිට්‍රා පර්යේෂණායතන විසින් ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට මේ හා සම්බන්ධ විශේෂඥභාවය ලබා දෙනු ඇත.

    පරිවර්තනයේ ප්‍රමුඛ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා මෙසේ පැවසී ය: “ICTA කියන්නේ රජයේ ඉහළම තොරතුරු සන්නිවේදන තාක්ෂණික ආයතනයයි. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එහි කාර්යභාරයයි. පරිපූර්ණ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක කිරීම ද එයට අයත් වෙනවා. අලුතින් මතුවන අභියෝග හමුවේ කාර්යක්ෂම අයුරින් ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි අපගේ රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය සිදුකිරීමේ හදිසි අවශ්‍යතාව කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් අවධාරණය කළා. වෙනස් වීම සඳහා උදා වූ අවස්ථාව භාවිතා කරමින්, අවශ්‍ය ගොඩනැගීම් කිරීම සඳහා මෙම හවුල්කාරිත්වය විසින් හැකියාව ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. එහිදී අන්තර්ග්‍රහනීය ඩිජිටල් ශ්‍රී ලංකාවක් සම්බන්ධ ප්‍රමුඛ අරමුණ අවබෝධ කරගත යුතුයි.”

    මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශීය නියෝජිත රොබට් ජුහ්කම් මෙසේ පැවසී ය: “ඩිජිටල් බාධක කියන්නෙ මෙම යුගයේ ප්‍රමුඛ තත්වයක්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල සමාජ සහ ආර්ථික යහපත උදෙසා ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සහාය දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැප වී සිටිනවා. කොවිඩ්-19න් යථා තත්වයට පත්වීමට මෙන් ම තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමටත් ඩිජිටල් ආයෝජන උපකාර කරනවා. කාර්යක්ෂම, පුරවැසි කේන්ද්‍රීය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇති රාජ්‍ය සේවා සම්පාදනයක් සඳහාත්, නවෝත්පාදනය හා ආර්ථික වර්ධනය සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේත්, එක්සත් ජාතීන්ගේ සහෝදර නියෝජිතායතනවලත් විශේෂඥභාවය ලබාදීම සඳහා වේදිකාවක් මෙම හවුල්කාරීත්වය විසින් නිර්මාණය කරනවා.”

    අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මීළඟ පියවර ලෙස, රාජ්‍ය සේවය තුළ තිබෙන අඩුපාඩු හඳුනාගැනීම සඳහාත්, ඩිජිටල් කාර්ය රාමුව ශක්තිමත් කිරීම සඳහා මැදිහත්වීම් සැලසුම් කිරීම සඳහාත්, ඩිජිටල් සූදානම පිළිබඳ තක්සේරුවක් මෙහෙයවීමට ICTA සහ UNDP එක්ව ක්‍රියා කරනු ඇත.