පහසුවෙන්ම ඇමරිකාවට යා හැකි පාර හෙට විවෘත වෙයි

    October, 3, 2016

    ඇමරිකානු සිහිනය ලොව බොහෝ ජනයාගේ සිහිනයක් වී තිබෙන අතර ඇතැමෙක් මේ වන විට එය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලොව නන් දෙස වෙසෙන ජනතාව විවිධ මාර්ග ඔස්සේ උත්සාහ ගනු ලබන්නේ මෙකී ඇමරිකානු සිහිනය යථාර්ථයක් ගර ගනු අටියෙනි.

    ඒ අනුව වාර්ෂිකව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කොංග්‍රසීය නියෝගවලට අනුව වාර්ෂික පදනම මත ක්‍රියාවට නංවනු ලබන විවිධත්ව සංක්‍රමණික වීසා වැඩසටහන, මෙලෙස ලොව වටා බොහෝ ජනතාවගේ ඇමරිකානු සිහිනය සැබෑ කරවන ප්‍රධාන මාර්ගය බවට අද වන විට පත්ව තිබේ.

    ඇමරිකා එක්සත් ජනපදයට අඩු සංක්‍රමණිකයන් ප්‍රමාණයක් පැමිණ ඇති රටවලින් මෙලෙස “විවිධත්ව සංක්‍රමණිකයන්“ ලෙසින් වීසා ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර වාර්ෂිකව විවිධත්ව වීසා 50,000 ක් ප්‍රදානය කරනු ලබයි. මෙ සඳහා පිරිවැයක් නොමැති අතර විවිධත්ව වීසාවක් සඳහා සුදුසුකම් ලැබීමට ලොතරැයි දිනුම් ඇදීමකින් තෝරාගනු ලබන අයදුම්කරුවන් විසින් සරල වුවද දැඩි යෝග්‍යතා අවශ්‍යතාවන් සපුරාලිය යුතුවේ.
    මෙම වීසා භූගෝලීය ප්‍රදේශ හයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක අතර කිසිදු රටකට එක් වර්ෂයක් තුළ ලබා දෙන වීසාවලින් 7% කට වඩා හිමි නොවනු ඇත.

    මේ අතර 2018 වසර සඳහා වන විවිධත්ව වීසා වැඩසටහන සඳහා ඉල්ලුම්පත් යොමු කළ හැකි කාලපරිච්ඡේදය හෙටින් (ඔක්තෝබර් 04) ආරම්භ වන අතර එය 2016 නොවැම්බර් 07 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

    ඇමරිකා එක්සත් ජනපද විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යලයීය නිලධාරීන් විසින් පවත්වනු ලබන සාකච්ඡාවක අද (03) සහ අනිද්දා (05) දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොළඹ 03 බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සවස 5.00 ට පැවැත්වෙන මෙම සාකච්ඡාව අද (03) දිනයේ දී ඉංග්‍රීසි හා සිංහල භාෂාවන්ගෙන් ද, අනිද්දා (05) දිනයේ දී ඉංග්‍රීසි හා දෙමළ භාෂාවන්ගෙන් ද පැවැත්වීමට පියවර ගෙන ඇත.

    මෙම විවිධත්ව වීසා වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකි අතර ඒ සඳහා කිසිදු අයකිරීමක් නොකරන බව වැඩිදුරටත් සඳහන් වේ.