ප්‍රමිතිකරණය රටක, සමාජයක සංවර්ධනයේ මූලිකම සාධකයක්

    March, 23, 2023

    අප කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළද, එම ප්‍රමිතිය සහ ප්‍රමිති ක්‍රියාවලිය හා බැඳුනු කරුණු සම්බන්ධයෙන් සමස්ත සමාජය තුළ ඇත්තේ අඩු අවබෝධයකි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක්වනනේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලලිත් චිත්‍රගේ මහතා ය.

     

    ප්‍රමිති ආයතනයේ අරමුණ සහ වගකීම පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කලොත් ?

    ජාතික තලයේ ප්‍රමිති ප්‍රකාශයට පත් කිරීම සහ කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍ර තුල ප්‍රමිතිකරණය හා තත්ත්ව වැඩි දියුණු කිරීම මූලික අරමුණු ඇතිවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ක්‍රියාත්මක වන්නේ. මෙය ජාතික ප්‍රමිති ආයතනය ලෙස ප්‍රමිතිකරණය සඳහා ජාත්‍යන්තර ආයතනයේ (International Organization for Standardization -ISO) නිත්‍ය සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

    ප්‍රමිතිකරණය රටක අභිවෘද්ධියට, ඉදිරිගමනට ඉතාම අත්‍යවශ්‍ය සාධකයක්. නිරන්තරයෙන් දියුණු වන විද්‍යාව හා තාක්‍ෂණය සමඟ යාවත්කාලීන වෙමින් ප්‍රමිතිකරණය හා තත්ත්ව සංකල්ප හා බැඳුණු විශේෂඥ පුහුුණුවලත් සමර්ථ (competent)  කාර්ය මණ්ලයක් විසින් තම මෙහෙවර රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත් සුහඳශීලීව ඉෂ්ඨ කරනු ලබනවා.

     

    ප්‍රමිති (Standards) හා ප්‍රමිතිකරණය (Standardization) ගැන කෙටි පැහැදිලි කිරීමක් කලොත් ?

    ප්‍රමිතියක් යනු සම්මුතියෙන් ස්ථාපිත කර පිළිගත් ආයතනයක් විසින් අනුමත කරන ලද පොදුවේ හා නැවත නැවතත් භාවිතා කල හැකි ලේඛනයක්. රීති, මාර්ගෝපදේශ හෝ ලාක්‍ෂණික ගුණ ප්‍රමිතියක සමන්විත වන අතර එය විද්‍යාව, තාක්‍ෂණය, හා අත්දැකීම් සමඟ ඒකාබද්ධවූ ප්‍රතිඵල මත පදනම්ව සකස් කරනු ලබනවා.

    ප්‍රමිතිකරණය කියන්නේ ප්‍රමිතීන් සූත්‍රගත කිරීම (සරලව කිව්වොත් ප්‍රකාශයට පත් කිරීම), නිකුත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාවලියන් මඟින් යම් සන්දර්භයක් තුල පවතින සැබෑ හෝ වියහැකි ගැටළු සම්බන්ධව ප්‍රශස්ථ ප්‍රතිඵල සාක්‍ෂාත් කර ගැනීම අරමුණු කරගෙන රීති, විධි විධාන යනාදිය සහිතව නිර්මාණය කරන ලද පොදුවේ සහ නැවත නැවතත් භාවිතය සඳහා ස්ථාපිත ක්‍රියාවකි.

    ප්‍රමිතිකරණයේ වැදගත් ප්‍රතිලාභ වන්නේ නිෂ්පාදන, ක්‍රියාවලි හා සේවා (products, processes and services) ඒවායේ අපේක්‍ෂිත අරමුණු සඳහා යෝග්‍යතාව වැඩි දියුණු කිරීම, දේශීය හා ජාත්‍යන්තර වෙළඳාමට ඇති බාධා වැලැක්වීම සහ තාක්‍ෂණික සහයෝගීතාවයට පහසුකම් සැලසීමයි.

     

    ප්‍රමිති ආයතනයේ විශේෂත්වය සහ සිදුකරන සේවා සම්බන්ධයෙන් විස්තර කළොත් ?

    ආර්ථිකයේ සෑම අංශයකම ප්‍රමිතිකරණය හා තත්ත්වය වැඩිදියුණු කිරීම් තුළින් ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ ගුණාත්මක භාවය ඉහල නංවාලීම සඳහා නායකත්වය සැපයීම මෙහෙවර පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉතාමත් සැලකිලිමත් ලෙස සහ දුරවබෝධයෙන් තම වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරනු ලබනවා.

    ඉහත කී අරමුණු හා මෙහෙවර පෙරදැරි කරගෙන ආයතනය විසින් සිදු කරන ප්‍රධාන සේවා වන්නේ;

     

    • ජාතික ප්‍රමිති සූත්‍රගත කිරීම (formulation of standards) සහ නිකුත් කිරීම,
    • නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ සඳහා    භාණ්ඩ සහතික ලාංඡන ක්‍රමය ක්‍රියාත්මක කිරීම,
    • පරීක්‍ෂණාගාර සේවාව,
    • ආනයන හා අපනයන භාණ්ඩ වල තත්ත්ව ආරක්‍ෂණ ක්‍රියාවලිය,
    • මිනුම් උපකරණ ක්‍රමාංකන (instrument calibration) සේවාව,
    • පද්ධති සහතික කරන (system certification) ක්‍රියාවලිය,
    • විදුලි උපකරණ වල බලශක්ති කාර්යක්‍ෂමතා තරු ශ්‍රේණිගත ඇඟයීමේ ක්‍රියාවලිය,
    • ප්‍රමිතිකරණය හා තත්ත්ව කළමණාකරණය ආශ්‍රිත පුහුණු පාඨමාලා පැවැත්වීම,
    • ප්‍රලේඛන හා තොරතුරු සේවාව,
    • ජාතික තත්ත්ව තිලින ප්‍රධානය (National Quality Award), යනාදියයි.

     

    ජාතික ප්‍රමිති සූත්‍රගත කිරීම ගැන කථා කලොත්?

    ප්‍රමිතියක් සූත්‍රගත කිරීම ගැන කථා කලොත් කිසියම් ප්‍රමිතියක් අදාල ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සහිත (සියළු පාර්ශවකරුවන් ඇතුලත් වන පරිදි වූ) විශේෂ්‍ඥ දැනුමකින් යුත් ප්‍රවීනයන්ගෙන් සමන්විත තාක්‍ෂණික කමිටුවක් විසින් කෙටුම්පත් කරන අතර ඉන් අනතුරුව මහජන අදහස් විමසුමට යොමු කිරීමයි සිදුවන්නේ. අදහස් හා යෝජනා වෙතොත් ඒවා නැවත අදාල තාක්‍ෂණික කමිටුව විසින් සලකා බලා ප්‍රමිති ආයතනය මහා මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබේ. ප්‍රමිති සකස් කිරීමේ දී ප්‍රධාන වශයෙන් මානව ආරක්‍ෂාව හා සෞඛ්‍ය, සහ පාරිසරික ආරක්‍ෂාව කියන අංශ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා. එසේම ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ උපරිම ප්‍රයෝජන ලබා දෙමින් ජාතික ප්‍රමිතීන් සූත්‍රගත කරනු ලබයි.

    ප්‍රමිතියක් යනු “ජීවමාන” ලේඛනයක් වන අතර එය සෞඛ්‍ය හා ආරක්‍ෂාව, පාරිසරික හේතූන්, වෙළඳපල තත්ත්වය, තාක්‍ෂණික දියුණුව යනාදී කාරණා මත වරින් වර යාවත්කාලීන කරනු ලබනවා.

    ජාත්‍යන්තර හා දේශීය වෙළඳාම හා එදිනෙදා ජීවිතයේ ප්‍රමිතීන් භාවිතය දැන් බහුලව සිද්ධ වෙනවා. එය කෙතරම්ද කියනවා නම් ප්‍රමිතීන් නොමැති සමාජ-ආර්ථික ක්‍රම සිතා ගන්නවත් බැහැ.

     

    ප්‍රමිති භාවිතය අනිවාර්ය කරන අවස්ථාවන් තිබෙනවාද ?

    නිෂ්පාදන ආයතනයකට ස්ව කැමැත්තෙන් සහතික ලාංඡනය සඳහා අයඳුම් කලහැකි අතර ඒ සඳහා වන සියළු අවශ්‍යතාවයන් තෘප්ත කරන විට    ලාංඡනය භාවිතය සඳහා අවසර දෙනවා පාලනයකට යටත්ව. එසේ වුවද බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතුව ප්‍රමිති භාවිතය අනිවාර්ය කිරීමට නියාමනය බලතල නැති බව. එ් සඳහා නියාමන බලතල සහිත ආයතන පද්ධතියක් රට තුල ස්ථාපිත කර තිබෙනවා.

    පාරිභෝගික සේවා අධිකාරිය විසින් දැනට නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ 46 කට පමණ   ලාංඡනය ලබා ගත යුතු බව අනිවාර්ය කර තිබෙනවා.

    එසේම සෞඛ්‍ය හා ආරක්‍ෂාව යන අවශ්‍යතාවයන් පදනම් කර ගෙන, ආනයනය කරනු ලබන නිෂ්පාදන හා වෙළඳ භාණ්ඩ (දැනට 126 ක් පමණ) අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල විය යුතු බව ආනයන හා අපනයන (පාලන) පනත ප්‍රකාරව නියාමනය කරනු ලබනවා.

    තවද සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් දැනට තෝරා ගත් විදුලි උපකරණ කිහිපයක් සඳහා බලශක්ති කාර්යක්‍ෂමතා අවම මට්ටම් පැවතිය යුතු බව නියාමනය කරනු ලබනවා.

    ඉහත නියාමනයන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පහසුකම් සලසනවා. පරීක්‍ෂණාගාර අංශය මඟින් අදාල ප්‍රමිතීන්ට අනුව පරීක්‍ෂණ සිදු කරන අතර එහි ප්‍රතිඵල මත හුදෙක්ම රටේ ජනතාවගේ යහපත සඳහා අවශ්‍ය තීරණ ආයතනය විසින් ගනු ලබනවා.

     

    ප්‍රමිතිය සහතික කිරීමෙන් පාරිභෝගිකයන්ට වගේම ව්‍යවසායකයින්ට ලැබෙන ප්‍රතිලාභ මෙනවද?

    නිෂ්පාදනයක් හෝ වෙළඳ භාණ්ඩයක් මත  ලාංඡනය ඇතිකල එය අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව සහ නිෂ්පාදකයාට එම තත්ත්වයන් අඛණ්ඩව පවත්වා ගත හැකි බවට පාරිභෝගිකයාට සාධාරන විශ්වාසයක් ඇති කරනවා.

    ශ්‍රී ලංකා ප්‍රමිති ජාත්‍යන්තර ප්‍රමිති හා සම සමව පවත්වා ගෙන යන බැවින් ප්‍රමිතියට අනුකූල නිෂ්පාදනයක් හෝ වෙළඳ භාණ්ඩයක් ජාත්‍යන්තර වෙළඳපලේ තරඟ කිරීම පසහු වනවා. තව විදිහකින් කිව්වොත් ජාත්‍යන්තර වෙළඳපොලවල් විවෘත කිරීමට උපකාර වෙනවා.

    ක්‍රියාවලියන් ප්‍රමිතිකරණය (standardization of processes) වීම තුලින් වඩා වේගවත්, කාර්යක්‍ෂම හා ආරක්‍ෂිත සේවාවක් සැපයිය හැක. එසේම පරිසරයට වන සෘණාත්මක බලපෑම අවම කිරීමට උපකාරවේ.