ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් වැලි, ගල්, පස් මිල පහළට – අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන

    December, 5, 2019

    ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේ දී වැලි ප්‍රවාහනය සඳහා මෙතෙක් බලපැවැත්වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව පරිසර, වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේය.

    “අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බලපත්‍ර අවශ්‍ය නැහැයි කියලා තීන්දු කළා. ඒ අනුව පස්, වැලි, ගල්වල මිල මීට පස්සේ අඩු වෙනවා. මීට පස්සේ ප්‍රවාහනය කරන්න බලපත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගල්, වැලි, පස් පාවිච්චි කරන ජනතාවට සහනයක් වශයෙන් ඒ පිළිබඳවත් කොමිටියක් පත් කරලා, තව සහන දෙන්න අවශ්‍යයි කියන එක එතුමා අනුමත කළා“, යැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    මේ අතර අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

    “අපි සහනයක් ලබා දුන්නා බදුවලින් ඉදිකිරීමේ කර්මාන්තයට. 24%ක් තිබුණු බදු 14%කට අඩු කළා. සහාධිපත්‍ය දේපළවල සම්පූර්ණයෙන් වැට් ඉවත් කළා. නමුත් ඒ කර්මාන්තයේ අයගෙන් මැසිවිල්ලක් ඇති වුණා, ඒ කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය ගල්, වැලි, මැටි යනාදිය ප්‍රවාහනය කිරීමේ දී විශාල ලෙස මිල ඉහළ යාමකට අදාළ වන විවිධ අක්‍රමිකතා රාශියක් ඇතිවීම තුළින් මේ කර්මාන්තකරුවෝ පීඩාවට පත්වෙනවා කියලා. විශේෂයෙන් වෙන්නප්පුව, දංකොටුව ප්‍රදේශවල, මැටි කර්මාන්තය, උළු කර්මාන්තය තියෙන ප්‍රදේශවල, ඒ නිෂ්පාදකයන්ට අවශ්‍ය මැටි ටික ගෙනාගන්න බැරි වීම තුළ, ප්‍රවාහනය කර ගන්න නොහැකියාව තුළ, ඒ ප්‍රවාහනය සඳහා විශාල අයථා වියදම් රාශියක් දරන්න සිද්ධවීම කරණ කොට ගෙන දහස් ගණනකට රැකියා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන බව ජනාධිපතිවරණ අවස්ථාවේ දී අතිගරු ජනාධිපතිතුමා වෙත විවිධ දුක්ඛදෝමනස්ස, ඒ ස්වයං රැකියාවන්වල නියුතු දේශීය කරුමාන්තකරුවෝ ඉදිරිපත් කරලා තිබෙනවා.“

    “ඊළගට ඉදිකිරීමේ කර්මාන්තයට අත්‍යවශ්‍ය දෙයක් වැලි සහ ගල්. පාරිසරික සංරක්ෂණය සඳහා අවශ්‍ය කිසිදු බලපත්‍ර ලිහිල් කිරීමක් කරලා නැහැ. බොහොම පැහැදිලියි. පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය විධිවිධානවල කිසිදු ලිහිල් කිරීමක් සිදුකරලා නැහැ. ඒ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා තියෙනවා. වැලි තොටුපළෙන් බලපත්‍රයට වඩා වැඩිපුර වැලි ගොඩදානවාද කියන එක පිළිබඳ ඉතාම දැඩි ලෙස ආරක්ෂක අංශ, පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ වැලි ටික තොටුපළෙන් පටවා ගෙන එන විට දහපහළොස්පොළක ඒ වැලි ටික සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය තාවකාලික වශයෙන් අත්හිටුවලා බලනවා, මේ වැලි, ගල් යන ආදියේ මිල පහළ වැටීමක් සිද්ධ වෙනවාද කියලා. මේ පිළිබඳ කමිටුවක් පත්කරලා තියෙනවා, මේ තීරණයේ ඇතිවෙන ප්‍රතිවිපාකය පිළිබඳ විමර්ෂනය කරලා, මේ කර්මාන්ත, ව්‍යාපාරත් නොවැටී පරිසරයටත් කිසිදු හානියක් නොවන පරිද්දෙන් මෙම කර්මාන්තය පවත්වා ගෙන යාම පිළිබඳ , ඒ අදාළ සියලූම බලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවත් පත්කරලා, ඒ පිළිබඳව  විමර්ෂනය කරලා තමයි ලබන කැබිනට් මණ්ඩලයේ දී ඒ තීන්දුව ඊයේ දිනයේ දී ගත් තීරණය නිසා ඇතිවන ප්‍රතිඵලය පුළුල් ලෙස විමර්ෂනය කරලා, එහි ඇතිවන ප්‍රතිඵල අනුව තමයි මේ කැබිනට් තීරණය ස්ථිර ලෙස දීර්ඝකාලීනව ප්‍රවාහනය ලිහිල් කරනවා ද කියන තීන්දුව ගන්නේ.“

    “දැනට වහාම ක්‍රියාත්මක වන පරිදි වැලි, ගල්, පස් ප්‍රවාහනය සඳහා පමණක් බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.“