පාර්ලිමේන්තුවේ සම්මත වූ පමණින් රූපමය අවවාද දාන්නෙ නෑ- CTC

    February, 21, 2014

    සිගරැට් පැකැට්ටුවක රූපමය අවවාද සියයට 80 ක ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය පක්ෂ විපක්ෂ එකඟතාවයෙන් සම්මත වුවත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබෙන නිසා එය මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ලංකා දුම්කොළ සමාගම සඳහන් කරයි.

    ලංකා දුම්කොළ සමාගම මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    සිගරැට් පැකට්ටුවක රූපමය අවවාද ඇතුළත් විය යුතුයැයි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ අදාළ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කෙසේවෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා දුම්කොළ සමාගම පවසා තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2013 සැප්තැම්බර් 20 වනදා අතුරු තහනම් නියෝගයක් පනවා තිබීම නිසා පාර්ලිමේන්තුවේ මෙම ගැසට් නිවේදනය සම්මත වුවත් මේ අවස්ථාවේදී එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

    මේ නිසා, අධිකරණය තීරණය කරන තුරු මෙම රූපමය අවවාද ලංකා දුම්කොළ සමාගම විසින් අලෙවි කරන සිගරැට් අසුරනවල ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි සමාගම විසින් සඳහන් කර තිබේ.

    මේ අනුව, පවතින අසුරන යටතේ ඉදිරියටත් සිගරැට් වෙළඳ පොළට නිකුත් කරන බව දුම්කොළ සමාගම පවසා ඇත.