April, 20, 2020
එළඹෙන මැයි 11 වන දින ශ්‍රී ලංකා රජය විසින් වසංගත තත්වයන් පාලනය උදෙසා වසා දමන ලද පාසල් පද්ධතිය නැවත විවෘත කිරීම සඳහා ගත් තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් වගකිව යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ජනාධිපති තුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්,පරිපාලන නිලධාරීන්, අධ්‍යාපනඥයින්, රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්, නීතී වේදීන් සහ සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ගෙන් සමන්විත සමාජයේ ප්‍රසිද්ධ සහ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ගරු ජනාධිපති තුමන්ගේ සහ අග්‍රාමාත්‍ය තුමන්ගේ අවධානයට මෙහිදී යොමු කර සිටින්නේ සියලුම පාසල් බලධාරීන්, සිසුන්, දෙමාපියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වර්තමාන වසංගත තත්ත්වයන් හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව සැලකිල්ලක් දක්වමින්, මනා සැළසුමක් නොමැතිව පාසල් විවෘත නොකරන ලෙසය.
එම ලිපිය පහතින් දැක්වේ.
2020 අප්‍රේල් 17
ගරු ගෝඨාභය රාජපක්ෂ
අතිගරු ජනාධිපති- ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය
ගරු ජනාධිපතිතුමණි,
පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස සිදු කරන ඉල්ලීම
මාර්තු මස මුල් භාගයේදී මෙරට ප්‍රථම කොරෝනා වෛරස ආසාධිතයා වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශයේ, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව, ජනතාවට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය සේවා නොකඩවා සපයමින් වෛරසය මර්දනය සඳහා ගෙන යනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස අප සතුටට පත් වන්නෙමු. එලෙසම රජයක් ලෙස මාර්තු මස මැද භාගයේදී අපේ රටේ අනාගතය වන දරුවන් ගේ ආරක්ෂාව ජාතික ප්‍රමුඛත්වයක් ලෙස සලකා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට ගත් කාලෝචිත තීරණය අප පැසසුමට ලක් කර සිටිමු. වර්තමාන සෞඛ්‍ය තර්ජනයන් සමඟ සාර්ථකව කටයුතු කරන කලාපීය හා ජාත්‍යන්තර රටවල අත්දැකීම් තුළින් පෙන්නුම් කරනුයේ අධ්‍යාපන සේවයේ නියුතු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ සහායකයින් (විධිමත් සහ ඵලදායී පරීක්ෂණ අවස්ථාවන් නොමැති විටදී) රෝගය වැළඳී තිබුණද, රෝග ලක්ෂණ නොතිබීම හේතුවෙන්, සිසුන්ට සහ අනෙකුත් සියලුම පාර්ශවයන්ට බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති කරන බවයි. මෙහිදී අවධානය යොමු කල යුතු වැදගත් කාරණය නම් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ශිෂ්‍ය ජනගහනය දළ වශයෙන් මිලියන 4.5 ක් වන බව සහ ලක්ෂ 2කට අධික ගුරු මණ්ඩලයක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාර්යේ නිරත බවත්ය.
නමුත් රටේ සියලුම පාසල් 2020 මැයි 11 වන දින නැවත විවෘත කිරීමට අදාළ තීරණය ගනිමින් 2020 අප්‍රේල් 11 වන දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබද වගකිවයුතු පුරවැසියන් ලෙස අප කණගාටුවට පත්ව සිටිමු. සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම උදෙසා අවස්ථාවක් සලසමින් රජය විසින් ගනු ලැබූ මෙම තීරණයේ වැදගත්කම පිළිබඳ අප හට අවබෝධ වන නමුත්, සියලුම පාසල් බලධාරීන්, සිසුන්, දෙමාපියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වර්තමාන වසංගත තත්ත්වයන් හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව අප සැලකිල්ලක් දැක්විය යුතුය.
COVID-19 පිළිබඳ චීනයේ ළමුන් අතර සිදු කරන ලද වසංගත අධ්‍යයනයකදී (Dong Y, et al. Pediatrics. March 16, 2020, http://bit.ly/33ljvcy ) හඳුනා ගත්තේ ළමුන්ගෙන් 4% ක් පමණ රෝග ලක්ෂණ නොමැති බවත්, 51% ක් සියුම් රෝගාබාධ වලින් පෙළෙන බවත්, 39% ක් මධ්‍යස්ථ රෝගාබාධ වලින් පෙළෙන බවත්ය. තවද වැඩිහිටියන් 18.5% කට සාපේක්ෂව දරුවන් 6% ක් පමණ දරුණු හෝ බරපතල රෝගාබාධවලින් පෙලෙන බවය. මින් පෙන්නුම් කරනුයේ ළමුන්ගෙන් වැඩිහිටියන්ට Covid -19 සම්ප්‍රේෂණය වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
වගකිව යුතු ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විවිධ ගැටළු පිළිබද අවධානයෙන් පසු වන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලෙස අපි පහත අත්සන් කර ඔබගෙන් ඉල්ලා සිටින්නේ ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මැයි 11 වන දින පාසල් නැවත විවෘත කිරීමෙන් වළකින ලෙසයි. තවද එසේ සිදු කරන්නේ නම් සියළුම සිසු සිසුවියන්, දෙමාපියන්, ගුරුවරුන් සහ අධ්‍යාපන සේවා සපයන්නන් ගේ ආරක්ෂාව වෙනුවෙන් පහත සඳහන් දේ සිදු කරන ලෙස කාරුණිකව යෝජනා කිරීමට කැමැත්තෙමු:
1) දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම සිදු කල යුත්තේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අදාළ සියලුම පාර්ශවකරුවන් විසින් දරුවන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිත ලෙස වැඩ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසරය පිළිබඳ සහතික වෙමින් සිදු කරන ලද සාමූහික එකඟතාවයක් මත පදනම්වය.
2) ප්‍රමුඛතා පදනමක් මත පාසල් නැවත විවෘත කිරීමේ ශක්‍යතාවය/හැකියාව තක්සේරු කිරීම: 2020 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සිසුන්ගේත්, ගුරුවරුන්ගේත් ආරක්ෂාව සහතික කිරීම පිණිස පංති කාමර තුළ අදාළ සැලසුම් සකසමින් සෞඛ්‍ය අනුමැතියක් ලබා ගත් දිවයිනේ ප්‍රදේශ වල පාසල්. තවද සියලුම සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ විවිධ අධ්‍යාපන සේවා සපයන්නන් විසින් වෛරසයේ පැතිරීම වලක්වා ගැනීම පිළිබඳ උපදෙස් සහ ක්‍රියාමාර්ග ඇතුලත් පුර්ව සැළසුම් සෑම පාසලකම දියත් කර තිබීම.
3) COVID-19 වසංගත තත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුලට විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත නියෝජිතයන්ගෙන් සමන්විත අධ්‍යාපන කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීමත් මෙම කාලය තුල ඔවුන්ගේ උපරිම කාර්යක්ෂමතාව ඉහත (1) හි සඳහන් සියලුම පාර්ශවකරුවන්ගේ එකගත්වය මත සනාථ කිරීම.
4) මෙම අර්බුදකාරී කාල සීමාව තුළ විවිධ රටවල් විසින් සාර්ථකව අනුගමනය කරන ලද විකල්ප අධ්‍යාපන ක්‍රම හඳුනා ගනිමින්, දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කරන තුරු විකල්ප මාධ්‍ය ඔස්සේ දේශීය පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම.
5) ඉහත 1, 2 සහ 3 නිර්දේශයන් වලට අනුව සාමුහිකව තීරණය කරන ලද පාසල් ආරම්භ කිරීමේ දිනය වන විට, වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩපණ වූ කර්මාන්තයන්හි සේවය කරන, මුල්‍යම දුෂ්කරතා වලින් පෙළෙන දෙමව්පියන්ගේ දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩ පිළිවලක් සැකසීම.
6) අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 12/2016 ක්‍රියාත්මක කරමින්, මානසික සහ ශාරීරික හිංසනයෙන් තොර අධ්‍යාපනික අත්දැකීමක් දරුවන්ට ළඟා කරලීමට කැප වීම සහ ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම පිළිබඳ කිසිඳු වෙනස් කොට සැලකීමකින් තොරව ආරක්ෂිතව දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම.
පිටපත්:
අත්සන්
මෙම ස්වේච්ඡා මුල පිරීමේ ප්‍රධාන කැඳවුම්කරුවන් - අධ්‍යාපන අංශය
Video Story