පාසැල්වලට ආරක්ෂක උපකරණ ස්ථාපිත කරන්න යෝජනාවක්

    May, 7, 2019

    අද (07) දින පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී පාසැල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බවත් එහිදී ආරක්ෂක උපකරණ පාසැල්වල ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් සිදුකෙරණු බවත් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේය. අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බනව අනාවරණය කළේය.

    මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන Handheld metal detectors, Walkthrough detectors, Baggage x-ray machines, Vehicle scanners වැනි ආරක්ෂාව සඳහා භාවිත කරනු ලබන යන්ත්‍රෝපකරණ සඳහා ආනයනික තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව මෙම මාධ්‍ය හමුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මෙහිදී පැවසීය.

    “මේ ආරක්ෂක උපකරණ අවශ්‍ය වන්නේ සංචාරක ව්‍යාපාරවලට පමණක් නොවෙයි. රජයේ ආයතන, ව්‍යාපාර, ආගමික සිද්ධස්ථාන, සිනමා ශාලා වැනි ජනතාව ගැවසෙන ස්ථානවැනි සෑම තැනකටම මේ ආරක්ෂක යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. ආරක්ෂාව මත තමයි ආර්ථිකයත් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව ආරක්ෂාව ප්‍රමුඛස්ථානය ගන්නවා. මෙම උපකරණවලට අමතරව ආරක්ෂණ විශේෂඥයින්ගේ උපදෙස් මත තවත් ආරක්ෂක උපකරණ මෙම ලැයිස්තුවට ඇතුල් කරන්න පුළුවන්. ඒ සඳහා අපි විවෘතයි“, යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.