පැකර්-ජයින්ජෙල් ගුටි කෙළිය, පැපරාසි ඡායාරූප ශිල්පියාට ඉව වැටුණු හැටි

    May, 6, 2014

    ලොව පුරා ඉමහත් ආන්දෝලනයක් ඇතිකල ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් සහ චැනල් නයින් ජාලයේ ප්‍රධානී ඩේවිඩ් ජයින්ජෙල්ගේ ගුටි බැට සංදර්ශනය සේයාරූ ගතකළ පැපරාසි ඡායාරූප ශිල්පියා මෙම ඡායාරූප අලෙවිකර දැවැන්ත මුදලක් උපයාගෙන ඇතැයි වාර්තා වේ.

    පනහකට ආසන්න මෙම ඡායාරූප ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු මාධ්‍ය පොර කෑ අතර අනාවරණය වූයේ News Corporation ආයතනය ඩොලර් ලක්ෂ 02 කට වැඩි මුදලක් ගෙවා මෙම සේයාරූ තොගය මිලදීගත් බවයි.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ වෘත්තීය මට්ටමින් ඉහළ මෙම සේයාරූ ගොනුව එම මිලට හොඳටම වටින බවත් News Corporation විසින් සිද්ධියේ ඉතිරි ඡායාරූපත් අද හෙටම නිකුත් කරනු ඇති බවයි.

    ගුටිකෙළිය ගැන පැපරාසි ඡායාරූප ශිල්පියාට ඉව වැටුණේ කෙසේද ?

    මෙම ගැටුම සිදුවූ ඕස්ට්‍රේලියානු Bondi මුහුදු වෙරළ කළාපයේ ජනප්‍රිය කාන්තාවන්ගේ ඡායාරූප හොරෙන් ගැනීම සඳහා පැපරාසි ඡායාරූප ශිල්පීන් නිතරම ගැවසෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

    මෙම ගැටුමට පෙර චැනල් නයින් ජාලයේ ප්‍රධානී ඩේවිඩ් ජයින්ජෙල් විසින් ජේම්ස් පැකර් වෙත දුරකතන ඇමතුමක් ලබාගෙන දැඩි ආවේගයකින් මොර ගසමින් සංවාදයේ යෙදුණු බව සඳහන්ය.

    මෙය අසල සිටි පැපරාසි ඡායාරූප ශිල්පියෙකුට ඉව වැටී තිබෙන අතර ඔහු මෙතන මොනවා හෝ වැදගත් දෙයක් සිදුවනවා යැයි යන අනුමානය මත එතනට පැමිණ ඇත.

    මෙම ගැටුම ලොවටම අනාවරණය කළ ඓතිහාසික සේයාරූ පෙළ ලබාගෙන ඇත්තේ මෙම ඡායාරූප ශිල්පියායි.