July, 25, 2015
පිටත වටරවුම් මාර්ගයේ කෙරවළපිටිය සිට කඩවත දක්වා කොටසේ ඉදිකිරීම් අධීක්ෂණය වෙනුවෙන් උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය සූදානම් වේ.
මෙම උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත් පිරිවැයට අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ලංකා බැංකුව වෙත භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත.
කොට්ටාව මාකුඹුරේදී දකුණු අධිවේගී මාර්ගයට සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක කොටසේ වැඩ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.6 ක් වන බවත් ඉන් සියයට 95 ක් චීනයේ එක්සිම් (EXIM) බැංකුවේ ණය මුදලක් මගින් ලබාගන්නා බවත් රජය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවෙමින් තිබෙන අතර ඒ සඳහා ගෙවිය යුතු වන්දි මුදල රුපියල් බිලියන 1.1 ක් බව සඳහන්ය.
මෙම ව්‍යාපෘතියේ තාක්ෂණ සහ මූල්‍ය කරුණු ඇගයීම සඳහා පත්කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි වැඩ ආරම්භ කරන්නේ සංශෝධන සහිතව බව රජය සඳහන් කර තිබේ.
මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.
පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.
Video Story