පිට පිටම 3 වන වසරට කොමර්ෂල් බැංකුව මෙරට හොඳම වෙළඳ මූල්‍ය බැංකුව ලෙස පිදුම් ලබයි

    November, 2, 2020

    මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළඳ මූල්‍යනයේ ජයග‍්‍රහණ ඇගයීම සඳහා පවත්වන Asian Banker Transaction සම්මාන ප‍්‍රදානෝත්සවයේ 2020 වැඩසටහනේදී පිට පිටම තුන්වන වසරට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍ය බැංකුව’ (Trade Finance) බවට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

    මෙම සඟරාව විසින් විගණනය පදනම් කරගත් ප‍්‍රවේශයකින් සිදුකළ දැඩි ඇගයීමකින් පසුව කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවණීය සම්මානය ලබාදී තිබේ. මෙම නිවැරදි තෝරාගැනීම සිදුකිරීම සඳහා මාස ගණනක් වැයකළ අතර එම තෝරාගැනීම සඳහා සියළුම පාර්ශවකරුවන්ට අදහස් දැක්වීමට සඟරාව විසින් අවස්ථාව ලබාදී ඇත. මේ සඳහා උපදේශනාත්මක සහාය ගෝලීය නායකත්ව මණ්ඩලයකින් සහ විෂයානුබද්ධ  විශේෂඥයින්ගෙන් ලබාගෙන තිබේ.

    කොමර්ෂල් බැංකුවේ වෙළඳ මූල්‍යන සේවා භාවිතා කරන දේශීය ආයතනවල සමීක්ෂණයක්, තරගකරුවන්ගේ වෙළඳපොළ කොටස වෙනස්වීම පිළිබඳ ඇගයීමක්, බැංකුවේ සමස්ත ව්‍යාපාරික කටයුතු වලින් ප‍්‍රතිශතයක් ලෙස ගනුදෙනු ව්‍යාපාරයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම සහ එහි ප‍්‍රමාණය, සමස්ත ආදායම සඳහා ගනුදෙනු ව්‍යාපාරයේ දායකත්වය, ව්‍යාපාරයේ වර්ධනය වෙමින් තිබෙන මූල්‍යමය වටිනාකම, ප‍්‍රධාන සහ වර්තමාන ගනුදෙනු පදනම සහ කාර්යක්ෂමතාවය සහ පිරිවැය කළමනාකරණය තුළින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන වාසි ඇතුළු කරුණු මෙම සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමේදී ඒෂියන් බෑන්කර් විසින් සලකා බලා තිබේ.

    මීට අමතරව, ‘ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍ය බැංකුව’ යන සම්මානය කොමර්ෂල් බැංකුවට ලබාදීමට පෙර ඒෂියන් බෑන්කර් විසින් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට ලබාදෙන වටිනාකම් ඇගයීමේදී ණය මුදල් මත රඳා නොපවතින බැංකුවේ ගාස්තු පදනම් කරගත් නිෂ්පාදන හා සේවාවල සුවිශේෂී ගුණාංග සහ සලකා බලන වසර තුළදී බැංකුව විසින් දිනා තිබෙන ප‍්‍රධාන ජයග‍්‍රහණ පිළිබඳවද තක්සේරුවක්ද කර ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

     

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික බැංකුකරණය නවීන් සූරියආරච්චි මහතා, ඒෂියන් බෑන්කර් සඟරාවෙන් හිමිවූ ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍ය බැංකුවයන සම්මානය සමග.