පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්

    December, 6, 2017

    බස් රථ සඳහා භූමි තෙල් නොදෙන ලෙස දන්වා තිබෙන බවත් එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවත් පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා ඊයේ (5) පාර්ලිමේන්තුවේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව සඳහන් කළේ ය.

    මහජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමයි වැදගත් වන්නේ. තෙල් මිල අඩු කළා. ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. තෙල් මිල වැඩි කරන්න ඉල්ලීමක් තිබුණා. රජයක් ලෙස එකඟ වුණේ නැත්තේ, මහජනතවට බර වැටෙන නිසා. ඉදිරියේ මැතිවරණය බලාගෙන නොවේ,මහජනතාවට වැඩිවන බර නිසයි, ඉන්ධනමිල වැඩි නොකරන්නේ. පාඩු ලබගෙන තිබිය දීත් මිල මෙලෙසම ක්‍රියාත්මකකරගෙන යන්නයි.

    ඉන්ධන අලෙවියේ දී භූමි තෙල්වලින් පාඩු ලබනවා. පිරවුම් හල්වලට දැනුවත් කර තිබෙනවා, බස්වලට භූමි තෙල් ලබා දෙන්න එපා කියලා. එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම් හල් බලපත්‍ර අවලංගු කිරීමට ජනවරි මස විට දැඩි පියවර ගන්නවා.

    බිලියන 67ක් පමණ රාජ්‍ය ආයතනවලින් ලැබීමට තිබෙනවා. බාල තෙල් ගෙන ඒමේ ක්‍රමය නවත්වා ගැනීමට සිදු වුණා. තෙල් වර්ජනයක් කියලා මහජනතාව කැළඹීමට ලක් කරනවා. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා.

    ටෙන්ඩර් පටිපාටියෙන් පිටට ගිහිල්ලා තෙල් ගන්නවා නම් ජනතාවට වැරදි දෙයක් වෙන්නේ. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ෆෙස් බුක් වලත් විශාල ප්‍රචාරයක් ලබාදුන්නා.

    දෙවැනි අවස්ථාවෙත් මෙවැනි මුහුණදීමට සිදු වුණා. මෙය ඇති කළ අය සොයන්න කියලා තිබෙනවා. අදවන විට පරීක්ෂණ සිදු වෙනවා. ඉන්ධන ටැංකිවල අඩුපාඩුවක් තියෙනවා.  මෙ.ටොන් 15,000ක ටැංකියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ටැංකි ඉදිකිරීමට කටයුතු කරමින් යනවා.

    විශාල මුදලක් පෙට්‍රල් ඩීසල් සඳහා පිටරට ට මුදල් යනවා. ලාභදායි ආයෝජකයෙක් ලබාගෙන පිරිපහදුව හදන්න හැකිවෙවි. සපුගස්කන්ද පිරිපහදුව හදන්න රජයෙන් මුදල් ලබාගන්න අමාරු නිසා ආයෝජකයෙක් ලබාගන්න කටයුතු කරන්නේ.ඕනෑම බොර තෙල් භාවිතා කළ හැකි පිරිපහදුවක් හදාගැනීමයි බලාපොරොත්තුව. මන්නාරම් ද්‍රෝණීයේ කැනීම් ගැන අවධානයෙන් සිටිනවා. ගෑස් ප්‍රතිපත්තිය සකස් කිරීම දැනට සාකච්ඡා කරගෙන යනවා. ටෙන්ඩර් මාෆියාව නවත්වන්න පියවර ගෙන තිබෙනවා. පිරවුම්හල්වල තෙල් කළවම්කරන සිදුවීම් වාර්තා වුණා. පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.