පීඩාවට පත් ජනතාවට සහන ලබා දිය යුතු ආකාරය ගැන මහ බැංකුවෙන් බැංකු හා මූල්‍ය ආයතන වෙත දැනුම් දීමක්

    March, 26, 2020

    පවත්නා කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නියෝගය මත , ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් විසින් මින් මතු මූල්‍ය ආයතන විසින් හැඳින්වෙන,  බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලත් විශේෂිත බැංකු සහ කල්බදු සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව පහත සඳහන් සහන ජනතාව වෙත ලබා දීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.

     

    1. එවැනි සියලුම මූල්‍ය ආයතන පහත සඳහන් පරිදි ණය සහන (ප්‍රාග්ධනය සහ පොළිය මත) ක්‍රියාත්මක කළ යුතුය.

     

    • සියලුම ත්‍රිරෝද රථ, පාසල් වෑන්, ලොරි, කුඩා භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සහ ස්වයං රැකියාලාභීන් විසින් මෙහෙයවනු ලබන බස්රථවල ලීසිං වාරික සඳහා මාස හයක සහනයක්
    • පෞද්ගලික අංශයේ සියලුම විධායක නොවන සේවකයින්ට ලබා දී ඇති පුද්ගලික ණය සම්බන්ධයෙන් 2020.05.30 දින දක්වා සහන කාලයක්
    • රුපියල් මිලියන 1ට අඩු සියලුම පුද්ලගික ණය හා ලීසිං වාරික සඳහා මාස 03ක සහන කාලයක්
    • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ ඒ ආශ්‍රිත සැපයුම් සේවා සපයන්නන් (ලොජිස්ටික්) යනා දී බලපෑමට ලක්වූ කර්මාන්ත සඳහා මාස හයක ණය සහන කාලයක්.
    1. මූල්‍ය ආයතන විසින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා 4% ක පොලී අනුපාතයකට ලබා දිය යුතු අතර ඉහත I (4) අයිතමයේ අංශ සඳහා අවම වශයෙන් මාස 6 ක් වත් පොලී ගෙවීම් අත්හැර දැමිය යුතුය. නැවත මූල්‍යයනය සඳහා පොලී සහනාධාරයක් ඇතුළත් වේ.

     

    1. 2020.04.30 වන දින දක්වා ඉහත 1 සහ 2 අයිතම සඳහා ණය අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ට ඉඩ ලබා දිය යුතු අතර මූල්‍ය ආයතන විසින් දින 45 ක් ඇතුළත එය අවසන් කළ යුතුය.

     

    4, රු. 50,000 ක් දක්වා වටිනාකමින් යුත් දේශීය ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන උපරිම පොලී අනුපාතය සියයට 15 ක් වියයුතුය. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අවම මාසික ගෙවීම සියයට 50 කින් අඩු කළ යුතුය. තවද රු. 50,000 සීමාවට අඩු සියලු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා නැවත ගෙවිය යුතු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

     

    1. රුපියල් ලක්ෂ 5 ට අඩු වටිනාකමකින් යුතු චෙක්පත් සඳහා වන වලංගු කාලය බලපත්‍රලාභී බැංකු විසින් 2020.04.30 දක්වා දීර්ඝ කරනු ඇත.

     

    1. ඇඳිරි නීතිය බලනොපැවැත්වෙන දිනවලදී බලපත්‍රලාභී බැංකුවල සියලුම ශාඛා උදේ 8.00 සිට ප.ව 1.00 දක්වා අවම සේවකයින් සංඛ්‍යාවක් සමඟින් විවෘතව තැබිය යුතුය. එසේම සියලුම ආයතනික ශාඛාවන් ආහාර, වෛද්‍ය, ගමනාගමන හා අනෙකුත් පාරිභෝගික සේවා සම්බන්ධිත ජාත්‍යන්තර ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමට ඇඳිරි නීතිය පනවා ඇති දිනවල විවෘත වනු ඇත.

     

    7. ඉහත සඳහන් කරුණු පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් 2020.03.27 දින නිකුත් කරනු ලැබේ.