පුද්ගලික අංශයට දෙන ණය පහළට

    January, 28, 2016

    පසුගිය ජනවාරි 16 වන දින සිට වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 6% සිට 7.5% දක්වා වැඩිකිරීම තුළින් දේශීය වෙළෙඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතාව පහළ බැස ඇතැයි මහ බැංකුව නිවේදනය කර සිටී.

    මේ අනුව 2015 දෙසැම්බර් මාසයේ දී හා 2016 ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ රුපියල් බිලියන 90 කට ආසන්න සාමාන්‍ය අගයක පැවති දේශීය මුදල් වෙළෙඳපොළෙ හි අතිරික්ත ද්‍රවශීලතාව ඉන්පසුව රුපියල් බිලියන 42 ක සාමාන්‍යයක් දක්වා අඩු වී තිබේ.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) ඉහළ නැංවීම, වෙළෙඳපොළ පොළී අනුපාතික ඉහළ යෑමට ද හේතු වූ අතර, කිසියම් කාල පමාවක් සහිතව වුව ද ඉදිරි කාලය තුළ දී පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනය මේ අනුව පහළ යනු ඇතැයි අපේක්ෂිත බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 ජනවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් කියා සිටී.