පුද්ගලික රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබන අයට වැට් ගෙවන්න පුළුවන් ආදායමක් තිබෙනවා – මංගල

    June, 20, 2018

    වත්මන් ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ පටන් මෙරට ජනතාවට වඩාත් සමීප මෙන්ම සහනදායී වෛද්‍ය සේවාවක් ලබා දීම යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එළඹෙන ජූලි 01 සිට පුද්ගලික රෝහල්වල සේවාවන් කිහිපයකට අදාළ වූ වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “අද පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 2016 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වූ වෛද්‍ය උපදේශක ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත පනවන ලද වැට් බද්ද 2018 ජුලි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නට අපි තීරණය කළා. 2016 වැට් බද්ද විශේෂයෙන්ම වෛද්‍ය උපදේශන ගාස්තුවලට හඳුන්වා දීපු වෙලාවේ, රෝහල් කාමර ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු යන තෝරා ගත් සෞඛ්‍ය සේවා සැපයීම මත වැට් බද්ද පනවනු ලැබුවා. ඉන්පසුව OPD ගාස්තුව අපි ඉවත් කළා. නමුත් වි‍ශේෂයෙන්ම සංවේදී රජයක් විදියට අපිට දිගින් දිගටම තේරුණා, සාමාන්‍ය පංතියේ ජනතාවට පවා අද පෞද්ගලික අංශයේ සේවාවන්ට යොමුවෙන්නට තියෙන අවස්ථාවල මේ වැට් බද්ද ඒ අයට යම් අපහසුතාවයක් ඇති කළා. අන්න ඒ නිසා තමයි ජනාධිපතිතුමා අගමැතිතුමාගේ උපදෙස් අනුව, ඒ වගේම රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි මුදල් අමාත්‍යාංශයේ අපි මේ වැට් බද්ද මේ ආකාරයට එන මාසේ 01 දා සිට ඉවත් කළා.“

    “නමුත් පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තුවට ඒ ආකාරයටම අපි වැට් බද්ද අය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඇත්තවශයෙන්ම පෞද්ගලික රෝහලක නවාතැන් ලබාගෙන ප්‍රතිකාර ලබා ගන්න අයට, අපි විශ්වාස කරනවා මේ වැට් බද්ද ගෙවන්නට යම් ආදායමක් තියෙනවා කියලා“, යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.