පුවක් ආනයනයට සෞඛ්‍ය ඇමති හරස් වෙයි

    August, 22, 2016

    පුවක් ආශ්‍රිත වෙළෙඳ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    "බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ සහ පුවක් භාවිතය නතර කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පුවක් කන්ටේනරයක් මේ වනවිට වරායේ නතර කර තිඛෙනවා. එම පුවක් විනාශ කරන්න පියවර ගන්නවා. එමෙන්ම පුවක් ආශ්‍රිතව සිදුකරන වෙළෙඳ නිෂ්පාදන එනම් බාබුල් වැනි දෑ ආනයනය තහනම් කිරිම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මම සුදානම් වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස සළකමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. එම නිෂ්පාදන ආනයනය නොකිරීමට කටයුතු කරන්නේ මුඛ පිළිකාව අවම කිරීමේ අරමුණිනි. මුඛ පිළිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර මුඛ පිළිකා අවම කිරීමට පියවර ගත යුතුව තිබෙනවා".

    සිගරට් සඳහා අයකරන බදු ප්‍රතිශතය සියයට 90 දක්වා ඉහළ නැංවීම තුළින් බීඩි සහ සුරුට්ටු වැනි නීති විරෝධී දැ වෙත මිනිසුන් ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බීඩි සහ සුරුට්ටු නිෂ්පාදන වෙනුවෙන් පනවා ඇති බදු ඉහළ නැංවීමට කටයුතු කරනවා. නීති විරෝධි දුම්වැටි ජාවාරමට එරෙහිව ද පියවර ගන්නවා. දුම්වැටි පරිභෝජනය අධෛර්යමත් කිරිම මෙහි ප්‍රධාන අරමුණ වනවා යැයි ද පැවසීය

    මේ වනවිට දුම්කොළ සමාගම්වලින් සියයට 90 බදු එකතු කිරීමේ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවත් දුම්කොළ සමාගම් වසා දැමුවත් ආර්ථකය ගොඩනඟාගන්න හැකියාව ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා දුම්බීම තුළින් රෝගී වන රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා රුපියල් බිලියන 147ක් වැය කිරීමට සිදුව තිබෙන බවත් පැවසීය.

    දුම්කොළ සමාගම් සඳහා සියයට 90 දක්වා බදු වැඩි කරන්නේ 2016 වසරේ බවත් 2017 වසර වනවිට සියයට 90 බදු ප්‍රතිශතය තවත් සියයට 50 කින් වැඩි කිරීමට ද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.