පූජනීය දළදා පෙරහරට 14 වන වරටත් ඩයලොග් අනුග‍්‍රහය

    August, 12, 2020

    ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මෙවර රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලදී. ඒ අනුව 2020 ජූලි 25 වෙනිදා සිට අගෝස්තු 4 වෙනිදා තෙක් පැවති ශ්‍රී දළදා පෙරහර  මහජනයාගේ සහභාගීත්වයෙන් තොරව සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙවරත්  ශ්‍රී දළදා පෙරහර වෙනුවෙන් සිය බැතිබර දායකත්වය ලබාදෙන ලදී.

    ශ්‍රී දළදා පෙරහර කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර හා දවල් පෙරහර වශයෙන් මංගල්‍ය තුනකින් සමන්විතය. ජනප‍්‍රවාදයේ සඳහන් වන ආකාරයට බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් වසර අට සියයකට පසු හේමමාලා කුමරිය සහ දන්ත කුමරු වන්දනීය දන්ත ධාතුන් වහන්සේ  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවීමත් සමඟ, නව අංගයක් වශයෙන් දළදා පෙරහර එක් වූ බව සැළකේ. දළදා වහන්සේගේ ආගමනය සිදු වූදා සිට අද දක්වා එය මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් ලෙස ගෞරව බහුමානයට පාත‍්‍ර වේ. සකල ලෝ වැසි බෞද්ධයන්ටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාටත් මහාර්ඝ වූ දන්ත ධාතුන් වහන්සේ මුල් කරගෙන පැවැත්වෙන දළදා පෙරහර වනාහි, ඈත අතීතයේ පටන් පැරණි ආගමික වතාවත්, ජාතික සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම්, ක්‍රීඩා හා කලා ආදී ජාතියේ විවිධ සංස්කෘතික දායාදයන් එක් කොට ගත් අද්විතීය වටිනාකමකින් යුත් සංස්කෘතික කලා මංගල්‍යයකි.

    ශ්‍රී දළදා පෙරහරේ කුඹල් පෙරහරේ සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා දින 10 ක් පුරා පැවති මෙම අසිරිමත් සංස්කෘතික මහෝත්සවය ඩයලොග් ටීවී ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවිය. අගෝස්තු මස තුන්වෙනිදා එළඹි නිකිණි පොහොය දිනයේදී දළදා මාළිග පරිශ්‍රයේ සිට සජීවී වැඩසටහනක් විකාශය කිරීමටද කටයුතු කෙරුණු අතර, ඊට පෙරහර ඉතිහාසය හා සම්බන්ධ පසුබිම් කතා සාකච්ඡාවට ගැනෙන විශේෂාංගයක් ඇතුළත් විය. එම වැඩසටහනද ඩයලොග් ටීවී ඔස්සේ සජීවීව නැරඹීමටත්, යම් හෙයකින් එම වැඩසටහන මගහැරුනේ නම් Catch Up Tv පහසුකම හරහා  යළි නැරඹීමටත් අවස්ථාව සලසන ලදී. ඩයලොග් ViU App එක භාවිත කරන අයටද මෙම Catch Up Tv පහසුකම අත්විඳීමට අවස්ථාව හිමිවිය. ජූලි 25 වනදා පෙරවරු 8:30 සිට අගෝස්තු 4 වනදා පස්වරු 3 දක්වා කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Dialog Television – Channel 16 (චැනල් අංක 16) ඔස්සේ සජීවීව නිවසේ සිටම නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවූ අතර, ඩයලොග් ජාලය තුළ ඕනෑම තැනක සිට කිසිඳු ගාස්තුවකින් තොරව ViU App එක ඔස්සේ ස්මාට් ජංගම දුරකතනයෙන්ද එය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට හැකිවිය.

    ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට උරදෙන ඩයලොග් ආසිආටා සමාගම දීර්ඝ කාලයක් මුළුල්ලේ රටේ ප‍්‍රධාන සංස්කෘතික හා ආගමික උත්සව සඳහා සිය අනුග‍්‍රහය සපයයි. ශ්‍රී ලාංකේය බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන් වන්දනීය වූ, පූජනීය වූ  ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් පැවැති හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය වන, ශ්‍රී දළදා පෙරහර සඳහා මෙවර ඩයලොග් සමාගම බැතිබර දායකත්වය ලබාදුන්නේ 14 වෙනි වරටයි.