‘පෙරමග’ වැඩසටහනින් COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථාන

    June, 9, 2020

    'පෙරමග' වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පානදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත. ඖෂධ සහ සුවසේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පෙරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුරුකුලරත්න යන වෘත්තිකයන් මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ව මෙම වැඩසටහන දියත් කෙරේ.

    වෛද්‍ය කුරුකුලරත්න මහතාගේ යෝජනාවකට අනුව, 'පෙරමග' වැඩසටහනේ අරමුණවන අතර මෙලෙස පරිත්‍යාග කෙරුණු මධ්‍යස්ථාන දෙක එහි පළමු අදියරයි. බාහිර රෝගීන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වෛරසය පාලනය කිරීම සඳහා රජයේ රෝහල් 33 කට මෙලෙස සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.

    මින් පෙර සාර්ස් වැනි වසංගත තත්ත්වවලදී බාහිර රෝගීන්ගෙන් රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම රෝහල් තුළ සිටින රෝගීන්ට ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා මෙවැනි මධ්‍යස්ථාන ලොව පුරා ඉතා සාර්ථක ලෙස යොදාගෙන ඇත. බරපතළ බෝවන ශ්වසන රෝග පාලනය කිරීම සඳහා බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ කර ඇති සංකල්පයකි.

    මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, "COVID-19 වැනි අනපේක්ෂිත වසංගත තත්ත්වයක් පරාජය කිරීම සඳහා නවෝත්පාදන අදහස් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. වෛද්‍ය චංග කුරුකුලරත්න මේ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමින් හෙබි වෘත්තිකයෙක්. එතුමාගේ අදහස යතාර්ථයක් කිරීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව පිළිබඳ සිතන පිරිසක් එක් වී සිටිනු දැකීම ඉතාම සතුටුදායකයි. මෙම මූලික ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වුණු එසුෆාලි පවුලේ සාමාජිකයන්ට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා" යනුවෙනි.

    එසුෆාලි පවුලේ මුල්‍ය දායකත්වය මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කොමදෝරු උදුල විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉංජිනේරු විශේෂඥ දැනුම සහ ශ්‍රම ශක්තිය ද, සනත් දසනායක මහතා ප්‍රමුඛ හේමාස් කණ්ඩායමේ අමතර කළමනාකරණ සහයෝගය ද මෙම ව්‍යාපෘතිය සඳහා මනා පිටිවහලක් විය.

    "සියලු ම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් යහපත් ජීවන තත්ත්වයකට අවශ්‍ය සමාන අවකාශයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පිළිබඳ අප පවුලක් ලෙස නිබඳව විශ්වාසය තැබුවා. මෙම තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමත්, COVID-19 රෝගීන් කාර්යක්ෂම ලෙස හඳුනා ගැනීමත් අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි. මෙම වැඩසටහන හරහා අපගේ රටට සේවය සැලසීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. 'පෙරමග' වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙමින් එය සාර්ථකව දියත් කිරීමට අත්වැලක් වූ සෞඛ්‍ය අමාත්‍යංශයටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත්, විශේෂයෙන් වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය අන්වර් හම්දානි සහ එයාර් මාෂල් සුමංගල ඩයස් යන මහත්වරුන්ටත් අපගේ ස්තූතිය පිරිනමනවා." යනුවෙන් මුර්තසා එසුෆාලි සහ අවන්ති එසුෆාලි ඒකාබද්ධ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළෝය.

    පෙරමග වැඩසටහන යටතේ රාගම බාහිර රෝගී පරික්ෂා මධ්‍යස්ථානය නිල වශයෙන් බාර දීම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය සහ එයාර් වයිස් මාෂල් රුචිර සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජුනි මස 09 වනදා සිදු කෙරිණි.

    "ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට COVID-19 වෛරසයට ඇති හැකියාව නිසාම රෝගීන් කලින් හඳුනා ගැනීම සහ රෝගීන් හැකි පමණ හුදෙකලා කිරීම ඉතා වැදගත් වනවා. මෙම බාහිර රෝගී පරික්ෂා මධ්‍යස්ථාන, රෝහල් කාර්යමණ්ඩලයට සහ රෝගීන්ට වෛරසය ව්‍යාප්ත වීමෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මහඟු මෙහෙයක් ඉටු කරනු ඇති බව මාගේ විශ්වාසයයි. එම මධ්‍යස්ථාන උපරිම ඵලදායී මට්ටමින් පවත්වා ගැනීමට අප සැදී පැහැදී සිටිනවා," යනුවෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. ඒ. එම්. ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    COVID-19 වසංගතයට මුහුණ දිය හැක්කේ මෙරට සියලු ම පාර්ශ්වකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයකින් පමණි. එම ගමනේදී සිය දායකත්වය ලබා දුන් Orange Electric, Celogen Lanka සහ Cool Power Holdings යන සමාගම්වලට සිය ස්තූතිය පිරිනමන 'පෙරමග' වැඩසටහන, මෙම අරමුණ ජය ගැනීම සඳහා සුව සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන සියලු පුද්ගලයන් සහ ආයතනවලට ද තමන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කර සිටී.

    ඡායාරූපය : වමේ සිට: උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා, පෙරමග වැඩසටහනේ ප්‍රධානත ම දායකත්වය දරන එසුෆාලි පවුල නියෝජනය කරමින් මුර්තාසා එසුෆාලි සහ අවන්ති එසුෆාලි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එයාර් වයිස් මාෂල් රුචිර සමරසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය සහ පෙරමග වැඩසටහනේ ප්‍රධානත ම දායකත්වය දරන එසුෆාලි පවුල නියෝජනය කරමින් ඉමිතියාස් එසුෆාලි යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති

    වමේ සිට : පෙරමග වැඩසටහනේ ප්‍රධානත ම දායකත්වය දරන එසුෆාලි පවුල නියෝජනය කරමින් මුර්තසා එසුෆාලි මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා

    පෙරමග වැඩසටහනේ ප්‍රධානත ම දායකත්වය දරන එසුෆාලි පවුල නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ මුර්තසා එසුෆාලි මහතා

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා