• Ada Derana BIZ Sinhala
  • P&S
  • sri lanaka

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය අභිමානවත් 120 වැනි සංවත්සරය සමරයි 

July, 19, 2022

ශ්රී ලංකාවේ ප්රමුඛතම ක්ෂණික ආහාර සැපයුම් සේවා සපයන්නා වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සිය ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 120 වන සංවත්සරයට පසුගියදා අවතීර්ණ විය. සිය නිෂ්පාදන, සේවා සහ සමස්ත සමාජ වගකීම් තුළින් දේශීය ජනතාව නඟාසිටුවීම සඳහා දිගුකාලීන කැපවීමක නිරතව ඇති එම ආයතනය, 120 වසරක දිගු ඉතිහිසය එයට මනා සාක්ෂි සපයනු ඇත.

ලංකාවේ දකුණු පළාතේ කෝදාගොඩ ග්‍රාමයේ සිට පැමිණි කේ. ඒ. චාල්ස් පෙරේරා විසින් 1902 වසරේදී කුඩා බේකරියකින් ආරම්භ කරනු ලැබූ P&S, ජයග්‍රාහී 120 වසරක් පුරාවට ක්‍රියාත්මක වෙමින් දිවයිනේ පළාත් 7ක අලෙවිසැල් 180කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිට ව්‍යාපාරික ජාලය ශක්තිමත් ගොඩනැඟීමට සමත්ව ඇත. මෙහිදී සිය සෑම අලෙවිසැලකම ඇති සියලුම ආහාර නිෂ්පාදනයන් ගුණාත්මක බවින් සහ රසයෙන් යුතුව පවත්වාගෙන යාමට මෙම ආයතනය දක්වනු ලබන කැපවිම සුවිශේෂී වේ. බේකරි කලාවේ පුරෝගාමියෙකු සහ ප්‍රමුඛයෙකු වන P&S, ගෙයින් ගෙට ගොස් සිය නිෂ්පාදන අලෙවි කළ යුගයේ සිට නවීන ස්වයංක්‍රීය තාක්ෂණය භාවිත කරමින් ශාඛා ජාලය ඔස්සේ සිය නිෂ්පාදන අලෙවි කරන කාලය දක්වා එහි ගුණාත්මක බව සහ රසවත් බව වර්ධනය කර ගනිමින් සෑම නිවසකටම මුවග රැදි සන්නාමයක් බවට පත්වීම කැපී පෙනෙණ කරුණකි.

මෙම සංවත්සරික සංධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේරා ඇන්ඩි සන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, "මේ 120 වැනි සංවත්සරය අපට වැදගත් අවස්ථාවක් වනවා වගේම මේ දිනය දක්වා කැපවීමෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන් සෑම සාමාජිකයෙකුටම අප ස්තුතිවන්ත වන අතර ඔවුන් සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ආඩම්බරයක්. අද වන විට P&S සමාගම ශක්තිමත් ජාලයක් සමඟින් දේශීය ක්ෂණික ආහාර සැපයුම් සේවා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම පරම්පරා ගණනාවක් පුරා නිවෙස්වල විශ්වාසවන්ත සන්නාමයක් බවට පත්වීම අපගේ වර්ධනයට හේතුවක් වී තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අප මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා වගේම මෙම කාර්යයන් ඉදිරියට වඩාත් සාර්ථක ආකාරයෙක් කරගෙන යාමට අපේක්ෂා කරනවා.''

දිවයින පුරා 180කට අධික අලෙවිසැල් ජාලයක් සඳහා ප්‍රධාන ඒකක 12ක් ඔස්සේ මනා සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සැපයුම් කාර්යයයේ නිරත වන P&S ආයතනය,  එම කාර්යය සඳහා සමාගම විසින් බොහෝ විට එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනිමට ක්‍රියා කරනු ලබන අතර, එමගින් ඔවුන් වෙත ඉහළ අදායමක් ලබා ගැනීමට වගේම ගොවින්ගේ ජීවනෝපාය වර්ධනය කිරීමට දායක වේ. තවද සිය සෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන්ම වැඩි අවධානයක් යොමු කරනු ලබන P&S, එමගින් දිවයින පුරා සිටින සෑම පාරිභෝගිකයෙකු හටම සිය අලෙවිසැල් තුළින් ගුණාත්මක තත්වයේ ආහාර මිල දී ගැනීමේ සහතිකය වගේම අවස්ථාව ද ලබා දී ඇත. මෙයට අමතරව සිය පාරිභෝගික ජනතාව වෙත පහසුවෙන් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ප්‍රකට ජාලගත ආහාර සැපයුම් සේවාවල් (UberEats, PickMe Food සහ Appigo) සමඟ ද අත්වැල් බැඳගෙන සිටීමට සුවිශේෂී කරුණකි.

P&S ආයතනය මඟින් පසුගිය කාලය පුරාවට සිය ''මනු මෙහෙවර" වැඩසටහන ඔස්සේ සමාජ සත්කාර වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර, එම වැඩසටහන් සියල්ලම පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, අසමානතා අවම කිරීම, වගකීම් සහගත පරිභෝජනය සහ නිෂ්පාදනය වැනි එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක මූලික කර ගනිමින් දියත් කර ඇත. මෙම කාර්යය යටතේ P&S ආයතනය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මූලික රෝහලේ ඩයලිසිස් ඒකකයට Reverse Osmosis (RO) යන්ත්‍රයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩාවිලච්චිය ගාමිණී විද්‍යාලය සඳහා පරිත්‍යාග කිරීමට සිදු කලේය. මෙයට අමතරව හරිත සහ පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබා දෙමින් P&S දශක කීපයක් තුළ ටෙනිස්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, ගොල්ෆ් සහ ක්‍රිකට් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත. තවද මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ Esports වර්ධනය කිරීම සඳහා Gamer.LK සමඟ එක්ව Esports තරඟාවලි  සාර්ථකව පැවැත්වීම තුළින් වර්තමාන යෞවනයන් සහ තරුණ තරුණියන් වෙත සිය සන්නාමය රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඩයලොග් ආසිආටා හි ආයතනික විසඳුම් අංශය වන Dialog Enterprise සමඟ එක්වීම තුළින් P&S ආයතනය සිය සැපයුම්දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික ප්‍රායෝගික විසඳුමක් වන  Smart Fleet යෙදවීම තුළින් ආහාර වල වගේම කාර්ය මණ්ඩලයේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික කිරීමක් සිදු කර ඇත. තවද P&S ක්ෂණික ආහාර කාණ්ඩයේ හොඳම සේවා සපයන්නන් 5 අතරට ද ශ්‍රේණිගත කර ඇති අතර, IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති එකම සන්නාමය බවට පත්ව ඇත. තවද 2020 SLIM Restart Resilience Awards සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයක් ද ලබා ගත් අතර, සමස්ත ලාංකිය ජනතාවගේම අවශ්‍යතා සඳහා සේවය කරමින් වසංගත කාලය තුළ සියලු අභියෝග ජයගැනීමට සමත් වීම සමාගමක් ලෙස එහි සාර්ථකත්වය මැනවින් ඉස්මතු කරන්නකි.

 දිවයින පුරා සියලුම නිවෙස්වල ප්‍රියතම සන්නාමයක් ලෙස P&S වෙතින්, Diwul Kiri, Heat & Eat Devilled Pizza සහ Mini Pizza Crust, Creamy Delight සමඟ Nougat, Vanilla සහ Strawberry, Spicy Rice Cake ආදි රසවත් ආහාර පාන වර්ග රැසක් හඳුන්වා දීමට කටයුතු කිරීම තුළින් ඉහළ පාරිභෝගික ආර්ෂණයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. තවද අතීතයේ සිට පැවතෙන සිය උරුමය සහ නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව සහ රසය අඛණ්ඩව පවත්වා ගැනීම තුළින් පාරිභෝගික විශ්වාසය වර්ධනය කර ගැනීමට සැමවිටම දරන කැපවීම ආයතනයක් ලෙස එහි සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී ඇත.

P&S හි ඉදිරි දශකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී දේශීය වෙළෙඳපොළ මෙහෙයුම් කාර්යයන් ව්‍යාප්ත කරමින් ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අපනයන වෙළෙඳපොළ වෙත සිය මෙහෙයුම් කාර්යයන් සිදු කිරීමට සැළසුම් කර ඇත. එමඟින් දේශීයව වඩාත් ඉල්ලුමක් ඇති ක්ෂණික ආහාර සේවා සැපයුම් ජාලය බවට පත්වීම P&S හි අරමුණ වන අතර, මිශ්‍ර ආහාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීමෙන් නව ආහාර වර්ග අත්හදා බැලීමට කැමති පාරිභෝගිකයින්ගේ විවිධ රුචි අරුචිකම් සපුරාලීමේ උත්සාහයන් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරනු ඇත.